(ආනන්ද ඉ ජයකොඩි)
ඔගොඩපොල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනියම් සම්බන්ධයක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකුට හා පිරිමියෙකුට ඇසිඩ් ගසා පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඔහුත් වස පානය කර ඇති බව වීරගුල පොලීසිය අද (29) පැවසීය.
ඕගොඩපොල ගම්මානයේ දී ඊයේ (28) පස්වරු 06 ට පමණ ප්‍රහාරය සිදු වී ඇති බවත් ඇසිඩ් ගසා පිහියකින් ඇනීම හේතුවෙන් තුවාල ලබා ඇති කාන්තාවන් දෙදෙනාත්, පිරිමි පුද්ගලයා හා ප්‍රහාරය එල්ල පුද්ගලයාත් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් ඇතුලත් කළ බවත් පොලීසිය කීය.
සිද්ධිය සැලවූ වහාම වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර ජයකොඩි මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වහා එම ස්ථානයට ගොස් තුවාල කාර කාන්තාවන් දෙදෙනා හා පිරිමි පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණ.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ප්‍රහාරයෙන් පසුව පැන ගොස් වස පානය කොට සිටියදී ඔහුත් අත් අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ වතුපිටිවල මූලික රෝහලටම ඇතුළත් කොට සිටී.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා කාන්තාවක් සමග පවත්වා ගෙන යන අනියම් සම්බන්ධයක් ප්‍රහාරයට හේතුව බව බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
ප්‍රහාරයට ගොදුරු වූ තිදෙනාත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාත් බරපතල රෝගී තත්ත්වයක පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා ගම්පහ සහකාර පොලිස් අධිකාරී (2) පී ජේ අතුකෝරල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර ජයකොඩි මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

