කාන්තා ව්‍යවසායකයින්-කුඩා, මධ්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ඇමෙරිකාවෙන් කෝටි 800ක්


(තිළිණි ද සිල්වා)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහාය දීමට සහ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසසායිකාවන්  සවිබල ගැන්වීම සඳහා රුපියල් කෝටි 800 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 40) ණය ආධාරයක් ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අනුබල දීම  සහ කාන්තා ව්‍යවසායිකාවන් වෙත සහාය ලබාදීම වෙනුවෙන් මෙම ආධාරය දුන් බවත් එය සණස සංවර්ධන  බැංකුව හරහා මෙරට කාන්තාවන්ට ලබා ගත හැකි බවද ඇමෙරිකා තානාපති කාර්යාලය සදහන් කරයි.

මෙම ණය ආධාරය ජාත්‍යන්තර ආයෝජන සහ සර්වග්‍රාහී ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් අරමුදල් ලෙස සණස සංවර්ධන බැංකුව  , ඩී.එෆ්.සී.සී බැංකුව හා එන්.ඩී.බී  යන බැංකු ඇතුළු ශ්‍රී ලාංකික බැංකු වෙත ලබාදෙන එක්සත් ජනපද ඩොලර් මිලියන 265න් කොටසක් බවද එම තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

මෙම ණය මුදල්වලින් අවම වශයෙන් සියයට 40 ලබාදෙනු ඇත්තේ කාන්තාවන්ට වන අතර  එය  කාන්තාවන් සවිබල ගන්වන භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාරවලට බවද ඇමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

මෙම ණය ආධාරය මුදල පිරිනමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය පැවසූවේ "වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමේ යෙදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත මෙම අරමුදල් උපකාරී වනු ඇතිවා පමණක් නොව ශ්‍රී ලාංකික කාන්තාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනයට ඉඩදෙන මූල්‍යකරණය කරා ප්‍රවේශය ලබා දෙන්නට මෙම අරමුදල් හරහා මඟ පෑදෙන බවය.

සවිබල ගැන්වුනු කාන්තාවන් ඕනෑම දියුණුවන ආර්ථිකයක වැදගත් අංශයක් වන අතර සාර්ථකත්වයක් ලඟාකර ගන්නට ශ්‍රී ලාංකික කාන්තාවන්ට උවමනා මෙවලම් සහ සම්පත් ලබා ගතහැකි බව සහතික කරන්නට අපේ ශ්‍රී ලාංකික හවුල්කරුවන් සමඟ අඛණ්ඩව වැඩ කිරීමට අපේක්ෂා කරන බවද ඇමෙරිකා තානාපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශේෂම අවිධිමත් අංශයේ කාන්තාවට හිමි ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා සම්පත් යොදවනු ලබන අතර 2020 වසරේ පමණක් එම ආයතනය වැඩසටහන් හරහා කාන්තාවන්ට හිමි ව්‍යාපාර හාරසියයකට අධික සංඛ්‍යාවක් ඇති කිරීමට සහාය ලබා දී ඇතැයිද ඇමෙරිකා තානාපති කාර්යාලය පෙන්වා දේ.