ක්‍රිකට් ආයතනයේ තීරණය අවලංගු කරන්න’යි සොයිසා අධිකරණයට යයි


(රන්ජන් කටුගම්පළ සහ මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ජාතික පන්දු යැවීමේ පුහුණුකාර තනතුරෙන් තමන් අනීවාර්ය නිවාඩු ගැන්වීමට ක‍්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ජාතික තලයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී 2017 වසරේ පැවැති ටී 10 ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එහි පුහුණුකරුවන් ලෙස සහභාගි වී සිටින අතරතුර ක‍්‍රිකට් තරගාවලියේ තරග ප‍්‍රතිඵලයට, ප‍්‍රගතියට, රටාවට සහ ස්භාවයට අනිසි ලෙස බලපෑම් කරන දූෂිත ක‍්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව විසින් චෝදනාවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් නුවන් සොයිසා මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.

මහරගම පුරාණ මාවතේ පදිංචි ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් සොයිසා මහතා විසින් පවරන ලද මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, මානව සම්පත් ජ්‍යෙෂ්ඨ නිලධාරී ධනංජය විජේසිංහ, සභාපති ෂම්මි ද සිල්වා, උප සභාපතිවරුන් වන කේ. මතිවානන්, රවීන් වික‍්‍රමරත්න, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික‍්‍රමනායක, උප සභාපතිවරුන් වන ක‍්‍රිෂාන්ත කපුවත්ත, ලලිත් රඹුක්වැල්ල, විදුලි සංදේශ විදේශ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එම අමාත්‍යංශයේ ලේකම් චුලානන්ද පෙරේරා යන මහත්වරුන් නම් කර ඇත.

ජාතික තලයේ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරුවකු වන නුවන් සොයිසා මහතා විසින් ඉදිරිපත්  කොට ඇති  පෙත්සමේ මේසේද සඳහන් කොට ඇත.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී 2017 වසරේ පැවැති ටී10 ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එහි පුහුණුකරුවන් ලෙස සහභාගි වී සිටින අතරතුර එම ක‍්‍රිකට් තරගාවලියේ තරඟ ප‍්‍රතිඵලයට, ප‍්‍රගතියට, රටාවට සහ ස්භාවයට අනිසි ලෙස බලපෑම් කරන දූෂිත ක‍්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා කරමින් අන්තර් ජාතික ක‍්‍රිකට් සභාව විසින් තමන්ට චෝදනා ඉදිරිපත් කළ බව පවසන පෙත්සම්කාර ක‍්‍රිකට් ක‍්‍රීඩක නුවන් සොයිසා මහතා ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තමන්ගේ පුහුණුකාර තනතුරෙන් අනීවාර්ය විශ‍්‍රාම ගැන්වු බවද සඳහන් වේ.