කල්මුණේ සිද්ධියේ තොරතුරු දැනුම් දුන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග


(ඉන්දිකා රාමනායක)
 
කල්මුණේ සයින්දමරුදු  සුනාමි ගම්මානයේ බී  183  දරණ නිවසේ  ඉකුත් 26 දින  බෝම්බ  පුපුරවා ගැනීමට  පෙර එම නිවසට සැකකටයුතු පිරිසක්  සිටින බවට තොරතුරු ලැබුණු වහාම එම නිවසට ගොස් සිද්ධිය සොයා බලා උසස් පොලිස් නිලධාරීන්  තොරතුරු  ලබාදුන් කල්මුණේ පොලිසියේ  රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඩී එස් එන් වීරසිංහ (83225) මහතා   පොලිස් සැරයන් නිළයට උසස් කර ඔහුට  රුපියල් ලක්ෂ 5 ක  ත්‍යාග මුදලක් ලබාදීමට  පොලිස් මුලස්ථානය අද  (3) අනුමත කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ලැබුණ තොරතුර අනුව වහාම කි‍්‍රයාත්මක  වී  තොරතුරු දැනුම් දී හේතුවෙන්  පොලිස් නිලධාරීන්ට වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වු බවත්  එම නිලධාරියා  ඉටුකළ සුවිශේෂි රාජකාරිය සැළකිල්ලට ගෙන ඔහුට උසස්වීම් හා  ත්‍යාග මුදල් ලබා දීමට  අනුමත කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

තොරතුරු ලැබුණු වහාම  කොස්තාපල්වරයා සිය යතුරු පැදියෙන් පිපිරීම සිදුවීම පෙර එම නිවස වෙත ගොස් ඇති  බවත් එහිදී ඔහු  නිවසේ සිටි ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව  දිවි බේරාගෙන ඇත්තේ  අනු නවයෙනි.

පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා පසුපසින් ඉහත නිවස බලා තවත් යතුරුපැදි දෙකකින්  ගමන්ගත්  පොලිස් සැරයන් සේනාරත්න (7773), කොස්තාපල්වරුන් වන බණ්ඩාර (51134) මහත්වරුන්ට ද රුපියල් ලක්ෂ පහ බැගින් වු පොලිස් ත්‍යාග මුදල් ලබා දීමට ද නිර්දේශ වු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම නිලධාරීන් තිදෙනා  රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී  ඉහත නිවසේ වෑන් රථයකින් සැකකටයුතු පිරිසක් සිටින බවට ප‍්‍රදේශවාසී පුද්ගලයන් තිදෙනෙකු විසින් දැනුම් දී ඇති අතර පොලිස් වීරසිංහ මහතාට මුලින්ම තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට ද රුපියල් ලක්ෂ 10 බැගින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දීමට ද නිර්දේශ වු බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

තරුණයා එම වෙඩි ප‍්‍රහාර හමුවේ  අතුරු පාරක්  ඔස්සේ දිවගොස්  ප‍්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරත  කල්මුණේ පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට දැනුම් දී තිබේ.