
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය නගරයේදී ජංගම දොඹකර ප්‍රවාහන රථයක් නවතා තිබූ වාහන දහයක ගැටී පාරෙන් ඉවතට පැන තාප්පයක් හා ගේට්ටුවක්ද කඩාගෙන නිවසක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් සිවු දෙනකුට තුවාල සිදුව ඇති අතර අනතුර සිදු වෙද්දී නගරයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
පස්යාල දෙස සිට මීරිගම දෙසට ගමන් කළ ජංගම දොඹකර ප්‍රවාහන රථය ජනාකීර්ණ කල්එළිය නගරයේ ඉතා වේගයෙන් පාර පුරා ගමන් කරමින් මග දෙපස නවතා තිබූ ත්‍රීරෝද රථ අටක මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී ඒවා තල්ලු කරගෙන ඉදිරියට ඇදී ගොස් ඇති අතර මීටර් 200 ක පමණ දුරක් මෙසේ වාහන අනතුරට පත් කරමින් ගමන් කළ රථය පාරේ දකුනු පස පිහිටි නිවසක තාප්පය ගේට්ටුව කඩාගෙන නිවසට හේත්තුවී නතර වි තිබිණි.
මෙහි ගැටුනු ත්‍රීරෝද රථ බොහොමයක්ම පොඩි පට්ටම්වී විනාශවී ඇති බව දැකිය හැකිවිය.එක් ත්‍රීරෝදයක සිටි ලමයකු හා තවත් පුද්ගලයකු මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සදහන් කළේය. අනතුරට ලක්වූ ත්‍රීරෝද රියක් විසිවී ගොස් වෙළෙදසැලක ගැටීමෙන් එයටද හානි සිදුවී තිබිනි.
තිරිංග අක්‍රියවීම නිසා රථය තමන්ට පාලනය කර ගත නොහැකිවූ බවට රියදුරා කරන ප්‍රකාශය සත්‍යදැයි අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



