කරාපිටිය රෝහලේ පිරිසක් පැය හතරක් සේවයෙන් ඉවත් වේ


(සිරංගිකා ලොකුකරවිට)

කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දී තමන් මුහුණ දී සිටින ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවයේ විවිධ වෘත්තිකයෝ අද (03) උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 04ක සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර දහවල් රෝහලේ දී උද්ඝෝෂණයක් ද කළහ.

පරිපූරක වෛද්‍යවරු, අතුරු වෛද්‍යවරු, හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, රියදුරු හා ලිපිකරු යන සේවාවන්හි වෘත්තිය සමිති 20ක් පමණ මෙයට සහය දැක්වූහ.

කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් සඳහා සේවය සැපයීමේ දී රෝහල් සේවකයන්ට ප්‍රමාණවත් තරම් මුඛ ආවරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දෙන ලෙසත් රෝගීවන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රතිකාර ලැබීමේ හා ආශ්‍රිත වන පවුල් සාමාජික සාමාජිකාවන් සඳහා නිරෝධායනය වීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකසන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

එමෙන් ම කොරෝනා එන්නත නොලැබුණු සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් තවමත් සිටින බැවින් ඔවුන්ට වහාම එන්නත් ලබාදෙන ලෙසත් වෛද්‍යවරුන්ගේ නිවාසවල සිටින සේවකයන් පවා එන්නත් කළ පසුබිමක තම පවුල්වල බිරිඳ හෝ සැමියා සහ දෙමාපියන්ට ලබාදිය යුතු බවත් වර්ජනයට හා උද්ඝෝෂණයට සහභාගී වූ මෙම සෞඛ්‍ය සේවකයෝ ඉල්ලා සිටියහ.