කරදියාන කසළ අංගනය නායයාමේ අවදානමක


(රේඛා තරංගනී ෆොන්සේකා)
 
කරදියාන කසළ අංගනය දකුණුපස නායයෑමේ අවදානමක් හේතුවෙන් එම කලාපයෙන් පවුල් 15ක් ඉවත්කිරීමට කටයුතු කළ බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් ලබාගත් තත්ත්ව සහතිකයට අනුව ජනතාව ඉවත් කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය.
 
කෙටිකාලීන විසඳුමක් ලෙස ඉවත්කළ නිවැසියන්ට මාස හයකට කුළී පදනම යටතේ නිවසක් ලබා ගැනීමට රුපියල් 20,000 බැගින් ලබා දී ඇති බව සඳහන් කරන මාන්නප්පෙරුම මහතා ඉවත්කළ නිවැසියන්ගේ ඉඩම් තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවද පැවසීය.
 
ප්‍රධාන පවුල් 13ක් සහ අනුපවුල් දෙකක් මෙසේ ඉවත්කර ඇති අතර‍ එසේ පවරාගන්නට සැලසුම් කරඇති ඉඩමේ ප්‍රමාණය අක්කර 6ක් බව ඒ මහතා පැවසීය.
 
ජීවිත අහිමීවීමේ ඛේදවාචකයක් නොවනු පිණිස අධිකාරියක් ලෙස කසළ අංගනයේ වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසුවන බව සඳහන් කරන අධ්‍යක්ෂකවරයා වැසිසහිත අයහපත් කාලගුණික තත්වවලදී වුවද කුණු කන්දේ වෙනස්වීම් අධීක්ෂණය කර අවදානම ඉවත්වන ලෙස සැලසුම් සකස් කරන බව පැවසීය.