කමිටු බලය වැඩි කිරිමට විශේෂ කෙටුම්පතක් කතානායකට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක  සභා විසින් පසුගිය වසර කිහිපයේදී කෙරුණු නිර්දේශ දහස් ගණනක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙයට පිළියමක් ලෙස සියලුම පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩි කිරීම  සඳහා විශේෂ කෙටුම්පතක් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (26) බාරදෙනු ලැබීය.

පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කරන  අන්දමට මැතිසබයේ  කමිටුවල බලතල වැඩි කිරීමට නම් ඒ කමිටුවලට  අදාළ ස්ථාවර නියෝග අනිවාර්යෙන්ම  සංශෝධනය කළ යුතු වෙයි.

සභානායකවරයා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ එම ස්ථාවර නියෝග සංශෝධනය  කිරීම සඳහාය.

වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී, තවත් ඉදිරියට ගමන් කිරීමට පාර්ලිමේන්තු  කාරක සභාවලට බලතල ලැබෙන පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග  සංශෝධනය කිරීම සඳහා විශේෂ කෙටුම්පතක් ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 20 වෙනිදා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කාරක  සභාවල සභාපතිවරුන් විශාල සේවයක් කරන නමුත් වාර්තාවක් ඉදිරිපත් කිරීම හැරෙන්නට ඉන් එහාට කටයුතු කිරීම සඳහා  ඔවුනට පාර්ලිමේන්තු  ස්ථාවර නියෝගවලින් මෙතෙක් බලතල පැවරී නොමැති බවද හෙතෙම   එහිදී සඳහන් කළේය.