කන්දකාඩු කඳවුරට ගිය පිරිස් සොයා ගාල්ලේ මෙහෙයුමක්


(ඩී.ජී.සුගතපාල)
 
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ඇසුරු කර ඇති සමීපතමයින් සහ ඔවුන් බැලීමට පසුගිය දිනවල  එම කඳවුරට ගිය ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිස් සොයා ගැනිම සඳහා පොලිස්  බුද්ධි අංශ දිස්ත්‍රික්කය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
 
එම කඳවුරේ රැඳවියන් පිරිසකට කොරෝනා ආසාදනයවීම නිසා මෙම පියවර ගෙන ඇත.
 
පසුගිය වසර දෙක ඇතුළත ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාසවල අධිකරණ මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මෙම කඳවුරේ පුනරුත්ථාපනයට යවා තිබේ.
 
ඒ අනුව ඔවුන් බැලීමට ගිය පිරිස්වල තොරතුරු සොයාගැනීම සඳහා බුද්ධි අංශ කටයුතු කරගෙන යයි.
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකි.