කතානායක කිලිනොච්චියේ සංචාරයක


(සිතුම් චතුරංග)

කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කයේ ජලගැලීම් හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා අද (03) කිලිනොච්චියේ සංචාරයක නිරතවිය.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී හා මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී ආපදාවට ලක්වූවන් වෙනුවෙන් සහන සැළසීම සහ වන්දි මුදල් පිරිණැමීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වන්දිමුදල් ලබාදීමේ ප‍්‍රථම අධියර ලෙස කිලිනොච්චි දිස්ත‍්‍රික්කයේ ජලගැලීම් හේතුවෙන් විපතටපත් පවුල් 90 වෙනුවෙන් රුපියල් දසදහස බැගින් චෙක්පත් ප‍්‍රධානය කිරීමද කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකළේය.

ජලගැලීම් හේතුවෙන් විපතටපත් පවුල්වල පාසල් දරුදැරියන් වෙනුවෙන් පාසල් උපකරණද පරිත්‍යාග කෙරිණි.

ජලගැලීම් හේතුවෙන් විපතටපත් සියලූම ජනතාවට වන්දි මුදල් කඩිනමින් ලබාදෙන ලෙස සාකච්ඡාව අමතමින් කතානායකවරයා පවසා සිටියේය. ත‍්‍රිවිද හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජලගැලීමේන් විපතටපත්වූවන් බේරාගැනීමට සිදුකළ මෙහෙය හා ඔවුන්ට සහන සැළසීම පිළිබඳව ස්තූතිය පලකළේය.

කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය ආබාධිත පුද්ගලයින් වෙත ලබාදීම සඳහා උපකරණද තොගයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට ලබා දීමද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ , නියෝජ්‍ය ඇමතිනී විජයකළා මහේෂ්වරන් , දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, එස්.ශ‍්‍රීදරන් හා මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් රූපාවති කේදීශ්වරන් , කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුළු යුද හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.