ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක්


(විමුක්ති එස් රුද්‍රිගු)

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය.

ආහාර, අත්‍යාවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිඟතාවයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට මෙම සහාය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මෙම මූල්‍ය සහාය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදලක් ශ්‍රී ලංකාවට හදිසි ආහාර ආධාර ලබා දීම සඳහා ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන අතර 2022-23 වසරේදී සංවර්ධන සහාය ලෙස  තවත්  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 ක මුදලක් සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෙදවනු ඇති බව පැවැසෙයි.

ලෝක ආහාර වැඩසටහනට ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 22 ක මුදල ශ්‍රී ලංකාවේ ලක්ෂ 30 ක ජනතාවකට දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 23 මුදල යෙදවීමේදී අවදානමට ලක් වූ පිරිස් විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් කෙරෙහි අවධානය යොමු කරන බව පැවැසෙයි.

ඉතිරි ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5 ක මුදල දැනටමත් මෙරට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආයතන  සඳහා ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.