ඕමානයට කතුන් විකිණු කතට වැඩ වරදී


(විනීතා එම් ගමගේ)

ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා තරුණ කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය කියයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඇයට විඳින්නට සිදුවු ගැහැට පිළිබඳ සිදුකල පැමිණිල්ලකට අනුව, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුයේ  දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාමත් මධුෂිකා වාසල මහත්මියගෙන් අධිකරණ නියෝගයක් ලබාගැනිමෙන් පසුවය.

සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන්  ඕමානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කාර්යංශය කියයි.

මෙලෙස කාන්තාවන් රැගෙන ගොස් ගණිකා ජාවාරමට ලබා දීම බරපතල මිනිස් ජාවාරමක් වන අතර, එය විදේශ සේවා නියුක්ති කාර්යංශ පනතේ අංක 62/1 වගන්තියට අනුව වරදක් බව ද කාර්යංශය පෙන්වා දෙයි.