එස්.එස්.පී පුරප්පාඩු 132ක් - උසස්වීම් ලේඛනයට අමාත්‍යංශ අනුමැතිය තවම නෑ


තරිදු ජයවර්ධන

ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ පුරප්පාඩු 132ක් පමණ ඇතැයි පොලිසියේ ආරංචි මාර්ග කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 169ක් සිටිය යුතු වුවත් මේ වන විට සිටින්නේ 37 දෙනකු පමණක් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුරප්පාඩු පිරවීම සඳහා දැනට ඇති ක්‍රමවේදය අනුව වසර හයක් සම්පූර්ණ කළ පොලිස් අධිකාරීවරුන් නැති නිසා  සහකාර පොලිස් අධිකාරී නිලයෙන් උඩ  සියලුම තනතුරු  පෙරදාතම කර අලුත් ක්‍රමවේදයක් පොලිස් කොමිෂන් සභාව මගින් සකස් කර යවා ඇතත් මාස පහක පමණ කාලයක් තිස්සේ ඊට අනුව උසස්වීම් සකස්කර එවා නැතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පත්වී වසර හයකට පසු පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කිරීමටත්, පොලිස් අධිකාරී නිලයේ වසර හතරක් කටයුතු කළ පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස උසස් කිරීමටත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස වසර හතක කාලයක් කටයුතු කිරීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කිරීමටත් ජාතික පොලිස් කොමිෂන් සභාව නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ක්‍රමවේදයට අනුව දැනට පොලිසියේ සිටින සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ  සියලුම පොලිස් නිලධාරීන්ගේ අදාල නිලයේ සේවා කාලය පෙරදාතම කර අනුමැතිය සඳහා එවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට යවා තිබේ. එම ක්‍රමවේදයට සකස් කළ පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලයේ පුරප්පාඩු  ඉබේම පිරවෙන බවත්, ඒ අනුව පොලිස් කොස්තාපල්වරයාගේ සිට සියලුම නිලයන්හි පොලිස් නිලධාරීන් රැසකට උසස්වීම් හිමිවෙන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් කීවේය.

මේ ගැන කළ විමසීමක දී උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ක්‍රමවේදයට අනුව එම උසස්වීම් සකස් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා මාස හතරකට ආසන්න කාලයක් ගත වුව එය තවමත් කොමිසමට ලැබී නැති බවයි.