එන්නතක් ලංකාවට නොලැබෙනු ඇත


(අංජුල මහික වීරරත්න)

තෝකියෝ නුවර දී ලබන ජුලි මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල අවසන් වී මාස කිහිපයක් ගත වන තෙක් ජපානයෙන් කිසිදු එන්නතක් ලංකාවට නොලැබෙනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සහ එන්නත්කරණය සම්බන්ධයෙන් ජපන් රජය අනුගමනය කරන ක්‍රියාවලිය මෙරට ජපන් තානාපති කාර්යාලය ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කීය.

සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප ජ්‍යෙෂ්ඨයන් සමග අද(17) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය.

ලෝකයේ නන් දෙසින් ඔලිම්පික් උළෙල සඳහා තෝකියෝ අගනුවරට එන විශාල ජනතාව හේතුවෙන් ක්‍රීඩා උළෙල අවසන් කිරීමෙන් පසුව කුමන පියවරක් ගැනීමට සිදුවේදැයි කලින් තීරණය කළ නොහැකි හෙයින් ජපානය සතු කොරෝනා එන්නත් කිසිවක් ඔලිම්පික් අවසන් වී මාස කිහිපයක් ගත වන තෙක් කිසිඳු රටකට ලබා නොදෙනු ඇතැයි ද රත්නප්‍රිය මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .