එදාවේල සොයාගත් පිරිසකට අයත් බොලේරෝ රියට ගිනිතියයි


   

(මොහොමඞ් බුහාර්ඩීන්)

ගලේවෙල  නගරයේ  සතිපොළ  භුමියේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි, සිය ජීවිකාව සඳහා ගමින් ගම යමින් එදිනෙදා වියදම උපයාගන්නා පිරිසක් පිරිසකට අයත් බොලේරෝ වර්ගයේ රථයක් ගිනිතබා විනාශකර තිබේ. බහින් බස්විමක් දුරදිගයාමෙන් ඇතිවූ මෙම ගැටුමට පසුව බොලේරෝ රථයට ගිනිතබා විනාශකළේ යැයි කියන  ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු අද( 12)  සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිට  ගමින් ගමට යමින් ස්වයං රැකියාවල නිරතවෙමින් ජිවත් වන අතර  පසුගිය 10   වැනිදා ගලේවෙල සතිපොළ  භුමියට පැමිණ ඇත්තේ එහි තාවකාලික ලෙස නවාතැන් ගැනිමටය.

සැමියා බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ හඳුන්කුරු විකුණා සිය ජිවිකාව කරගෙන යන මෙම පිරිසට අයත් බොලේරෝ වර්ගයේ රථයද  සතිපොලේ ගාල්කර ඒ අසළ  නිදාසිටියදි ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු මත්පැන් බීමට එම ස්ථානයට පැමිණ  තිබේ.

එහිදි දෙපාර්ශවය අතර ඇතිවු බහින් බස් විමකින් අනතුරුව ජිප් රථයේ විදුරුවකට සැකකාර සේවකයින් ගල්ගසා ඇති බවත් මේ පිළිබදව නගරවාසින්ට දැනුම් දිමට යන අතරතුරදි සිය කැබ් රථයට ගිනිතබා විනාශකර සැකකරුවන් පිරිස පළාගිය බවත්  රථයේ හිමිකාරිනිය වන 40 හැවිරිදි කාන්තාව ගලේවෙල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියට සම්බන්ධයැයි සැකකෙරෙන ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු අද (12 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන්  රථය හා එහි තුළ තිබූ රු 70, 000 පමණ වු තවත් භාණ්ඩද ගිනිගෙන විනාශ වි ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළි වී ඇත.

සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.