
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව සහයෝගය ලබා දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර ඇත.
එසේම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමමින් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බව පීටර් බෘවර් මහතා පෙන්වා දී තිබේ.
වසර ගණනාවක සිට හටගත් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ගත් වැරදි ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බවත් ශ්‍රී ලංකාව නැවත වරක් නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවමින් මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට කැපවී ඇති බවත් පීටර් බෘවර් මහතා පවසා ඇත.
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඉදිරි වසර හතරක කාලය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් ලබා දී තිබෙන බවත් පීටර් බෘවර් මහතා සඳහන් කර තිබේ.
මෙවැනි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒම සඳහා පහසු විසඳුමක් නොමැති බවත් මින් ගොඩ ඒමට සියලු දෙනා සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් ධනාත්මක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතු බවත් පීටර් බෘවර් මහතා පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් රජය ශ්‍රී ලංකා ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ඒ යටතේ රජයේ අදායම ඉහළ දමා ගැනීමට, මිල ස්ථාවර කිරීමට, විදෙස් සංචිත ප්‍රමාණවත් ලෙස ගොඩනගා ගැනීමට සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වන බවත් පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර තිබේ.
දුප්පත් පවුල් සහ අවදානමට ලක්වූ කණ්ඩායම් වෙනුවෙන් රජය සිදුකරන වියදම ඉහළ දැමීමට, සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමට,ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීමට හැකිවන ආකාරයේ බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආරම්භ කර ඇති ආර්ථික වැඩසටහනෙන් බලාපොරොත්තු වන බව පීටර් බෘවර් මහතා පෙන්වා දී ඇත.
බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබා දුන් සහනයත් සමඟ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙමින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව පීටර් බෘවර් මහතා ප්‍රකාශ කර තිබේ.

