ඌරුමස් ව්‍යාංජනයට උරණවී පොලිස් ලොක්කා පොලිස් පරීක්ෂකට පහරදීලා


(ඉන්දිකා රාමනායක)

නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවාඩු නිවස්නයේ රාත්‍රීයේ පිස තිබු  ඌරුමස්  ව්‍යාංජනය ප‍්‍රමාණවත් නොවන බව පවසා බහින්බස් වී එම නිවස්නය බාර පොලිස් පරීක්ෂකවරයාට පහර දී  තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

සිද්ධයෙන් පහර කෑමට ලක් වූ  පොලිස් පරීක්ෂක  දයානන්ද අලහප්පෙරුම මහතා  කර තිබූ පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ  අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා වෙත යොමුකිරීමෙන් පසු  මෙම පරීක්ෂණ ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

සිද්ධියේ චෝදනා එල්ල වී ඇත්තේ  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දමයන්ත ශි‍්‍ර විජය මහතා වෙත බව  එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කළ  සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායම නුවරඑළියට ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කළ පැමිණිල්ලට අනුව  මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා  සිය බිරිඳ හා දරු දෙදෙනා සමඟ මෙම නිවස්නයට ගොස් සිටියදී ඉකුත් 27 වැනි දින රාත්‍රීයේ  මෙම සිද්ධිය සිදුව ඇති බව පැවසේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිවාඩු නිකේතනයටය උරුමස් කිලෝ එකක් ද රැගෙන ගොස් ඇති  අතර ඉන්  කොටසක්  එදින රාති‍්‍ර ආහාරය සඳහා පිසින ලෙසට සේවකයන්ට දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එදින  දරුවන් හා බිරිඳ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා  රාත්‍රී කෑමට පැමිණ ඇති අතර එහි කෑමට තිබු උරුමස් ප‍්‍රමාණය මදිවීම නිසා  පිස ඇති මස් ප‍්‍රමාණයේ  අඩුවත් ඇති බවට පවසා  මුළුතැන්ගෙට ගොස්  පිසු භාජන පරීක්ෂාකර බලා සේවකයන්ගෙන් ඒ පිළිබඳව  ප‍්‍රශ්න කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව  නිවස්නය බාර පොලිස් පරීක්ෂකවරයා ද ගෙන්වා මේ සම්බන්ධයෙන් විමසා බහින්බස් වී මෙම පහර දීම සිදුකර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වේ.පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා  නුවරඑළිය දිස්ති‍්‍රක් රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබාගෙන සිද්ධිය පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල අනුව විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණය ආරම්භ කර ඇත.