උසස් පෙළ සමතුන්ට ලක්ෂ 11 දක්වා ණයක්


(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමතුන්ට මෙරට උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීම සඳහා රුපියල් 1,100,000 දක්වා උපරිමයකට යටත්ව ණයක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
අයවැය යෝජනාවක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මත කෙරෙන අතර එමගින් රටේ තරුණ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීම අරමුණ වන බවද එහිදී මංගල සමරවීර මහතා කීය.
 
උසස් පෙළ සමතුන්ට රාජ්‍ය බැංකු මගින් මෙම ණය ඉල්ලුම් කළ හැකි අතර වසර 15කින් එම ණය ගෙවීම සඳහා ඉඩ ලැබෙන බවද එහිදී ඇමතිවරයා පැවසීය.
 
ඔවුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි මට්ටමේ පාඨමාලා හැදෑරිය හැකි අතර පසුකලෙකදී  රැකියාවක් කරමින් තමන් ලබාගත් ණය ගෙවා දැමිය හැකි බවද ඇමතිවරයා කීවේය.
 
වසරකට සිසුන් 240,000ක් උසස් පෙළ සමත්වන අතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නේ ඉන් සිසුන් 30,000ක් පමණක් වන හෙයින් මෙම වැඩපිළිවෙළ රටට අත්‍යවශ්‍ය බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.