උසස් පෙළ විභාගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1971ක්


(ඉන්දිකා රාමනායක)
 
හෙටින්(05)  ඇරඹෙන අ.පො.ස.  උසස් පෙළ විභාගය වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කර ඇති බවත්,  ඒ සඳහා පොලිස් නිලධාරීන් 1971දෙනෙකු යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
ප‍්‍රාදේශීය එක් රැස්කිරීමේ ස්ථාන 32 ක් හා  සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 625ක්  වෙනුවෙන්  අවි සහිත පොලිස් නිලධාරීන් තිදෙනෙකු පැය 24 පුරා විභාගය අවසන් වනතෙක් යොදවා ඇති බවත්,  දිවයින පුරා  ඇති විභාග මධ්‍යස්ථානවලට ජංගම සංචාර,  යතුරු පැදි සංචාර,  පාමුර සංචාර මගින්   ආරක්ෂාව ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.
 
 ප‍්‍රශ්න පත‍්‍ර හා පිළිතුරු පත‍්‍ර   ප‍්‍රවාහනය කරන වාහනවලට  අවි සහිත පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු යොදවා ඇති බවද, ඒ මහතා පැවසීය.
 
විභාග මධ්‍යස්ථාන අසළ ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම තහනම් බවත්  පොලිස් ආඥා පනත අනුව එවැන් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.