(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතර වන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාල රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා ලබන 14 දා තෙක් වෙබ් සබැදිය විවෘත බව කාර්යංශය කියයි.
ඒ අනුව විදුලි පේනු සවි කිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්,සෙරමික් ටයිල් අතුරන්නන්, කපරාදු යන රැකියා සඳහා අයැදුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
මේ ක්ෂේත්‍ර යටතේ අයැදුම්කරුවන් 1500 ක් බඳවා ගැනීමට නියමිතය. රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවේ.
වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.
මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථාන වලදී අයැදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලැබේ. ඉන් සමත්වන අයැදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ලැබේ.
මෙම රැකියා ලබා ගැනීම සඳහා කිසිඳු බාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීති විරෝධී බවත් කාර්යාංශය සඳහන් කරයි.