ඉබි යතුරු කඩා නිවසකට ඇතුළු වූ සාමනේර හිමිවරු රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

බම්බලපිටිය ෆරිඩ් පෙදෙසේ  පැරණි තෙමහල් නිවසක ඉබි  යතුරු කඩා අනවසරයෙන් ඇතුළු වී සිටි බව කියන සාමණේර හිමිවරුන් දෙනම ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

සමනේර හිමිවරු දෙනමගෙන්  එක් නමක් බාලවයස්කාරයකු බැවින් පරිවාස භාරයේ රඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත වූයේ මාලඹේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන සාමණේර හිමිවරුන් දෙදෙනෙකි.

නිවසේ ඉබයතුරු කඩා හිමිවරුන් තිදෙනෙකු  තවත් පුද්ගලයකු සමග බලෙන් රැඳී සිටින බවට  නිවසේ හිමිකාරිය බව කියන කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් එම අවස්ථාවේ සිටි වයස අවුරුදු 20 හා 14 පසුවල හිමිවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිවසට එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු හිමිකාරීත්වය දරන අතර ස්වාමීන් වහන්සේ නමක් විදේශගත වූ අවස්ථාවේදී ඇටෝනි බලපත්‍රයක් මගින් එහි කොටසක් පවරා දුන් බවත් ඒ හේතුවෙන් හිමිකාරීත්වය ඇති පවසා නිවසට ඇතුළු වී ඇති බවට  පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුරු විභාගය ලබන 19දිනට නියම කෙරිනි.