ඉදිරියේදී ලංගමයට සැප බස් පමණයි


( දිල්රුක්ෂි ග්‍රේරු)

ශ්‍රී  ලංකා  ගමනාගමන මණ්ඩලය මින් ඉදිරියට මිලදී ගනු ලබන්නේ  සුඛෝපභෝගී  බස් රථ පමණක්  බවත්,  ඒ සදහා  නව පිරිවිතර ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
 
එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස් රථ මිලදී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක්ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවත් , එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවයටද  පසුව හඳුන්වා දෙන බවත්  අමාත්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (13) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
“ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට ‍පොදු බස්රථ ප්‍රවාහනයෙන් 40% දායකත්වය සපයන බවත් , නමුත් වසර දෙකක් පමණ පැරැණි බස් රථ ඇත්තේ ඉතාමත් අඩුවෙන් බවත් පැවසු අමාත්‍යවරයා සඳහන් කළේ  වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස්රථ ඇණියට එක් කළ යුතු බවයි.
 
 
 මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි‍ මාස කිහිපය තුළදී අලුත් බස්රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරන බවත් පැවසීය. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන,  ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීම බවත් අමාත්‍යවරයා පැවසීය.
 
 ‘නොගැළපෙන බස්රථ මින් ඉදිරියේදී ලංගමට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිලදී ගන්නට හැකියාව ලැබෙන්නේ’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
 
මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථ වේ.  ඇතැම් විට එම බස්රථවල එංජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී බස්රථවලද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි.
 
එබැවින් සාමාන්‍ය, අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි.
 
 එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහාද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
 
එම සාකච්ඡාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළුව උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.