ඉදිකිරීම් කටයුතු සඳහා අවසරය අන්තර්ජාලය ඔස්සේ


(විනීතා එම් ගමගේ)

ඉදිකිරීම් කටයුතු සදහා අවශ්‍ය අවසර ලබාදීම් අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් වන අයදුම්පත් සළකා බලා ඉදිකිරීම් ආරම්භ කිරීමට අවසර දෙන බවත් පවතින තත්ත්වය පහව යාමෙන් පසු විධිමත් අනුමැතිය ලිඛිතව නිකුත් කිරීමට කටයුතු කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා මහතා එම අධිකාරියේ අද (20) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
 
නාගරික සංවර්ධන අධිකාරියේ බල ප‍්‍රදේශ තුළ එහි විමධ්‍යගත බලතල අනුව පලාත් පාලන ආයතන මගින්ද ඉඩම් කැබලි කිරීම් හා ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාල අනුමැතිය ලබාදීමේ ක‍්‍රියාවලිය සිදුකරන බව හෙතෙම සදහන් කළේය.
 
අයදුම්පත් ඉදිරිපත් කර කෙටි කාලයක් තුළ ඒ සදහා මූලික අනුමැතිය ලබා දීමට සුදානම් බවත් නාගරික සංවර්ධන අධිකාරියේ  www.uda.gov.lk වෙබ් අඩවියට පිවිස ඒ ඔස්සේ අයදුම් පත් ඉදිරිපත් කළ හැකි බවද සභාපතිවරයා කීය.

අධිකාරියේ තෝරාගත් පිරිසක් තෝරාගත් දිනවල දී සේවය කරන බවත් ඔවුන් විසින් මෙසේ ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්  සදහා අවසරය ලබාදීමේ කටයුතු සිදුකරනු ඇති බවත් හෙතෙම කියාසිටියේය

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසාද් රණවීර මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.