ඉඟිනිමිටිය මායිම් ගල් දමයි


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

ඉඟිනිමිටිය ජලාශ රක්ෂිතයේ මායිම් ගල් ස්ථාපිත කිරීම අද ආරම්භ කෙරිණ. වසර ගණනාවක සිට ජලාශයේ නියමිත මායිම් සළකුණු කර නොතිබූ හේතුවෙන් අනවසර වගා කරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුළුව ගැටළු ගණනාවක් පැවති අතර නිලධාරීන් සහ ජලාශයේ ගොවි සංවිධාන නිරතුරු ජලාශය රක්ෂිතය නිරවුල් කරදෙන ලෙස බලධරීන්ගෙන් ඉල්ලීම් කර තිබිණ.

මායිම් සළකුණු කිරීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

එහිදී මුල්ම මායිම් ගල අමාත්‍යවරයාගේ සුරතින් ස්ථපිත කෙරුණු අතර ජලාශ රක්ෂිතය වටා කිලෝමීටර් 40ක් පමණ දුරට මායිම් සළකුණු කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. පැවැති උත්සව සභාවේදී රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිස ඇමතූ අමාත්‍යවරයා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

" ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපේ ආයතනික වශයෙත් ඇති කුණුකසළ ඉවත් කිරීමත් සිදුකෙරෙනවා. වැඩක් කරගන්න ගියාම කීයක්වත් දෙන්නෙ නැතිව මොකුත් කරගන්න බැහැ. ඒ තත්වය වෙනස් කර ගන්න ඕන. අතිකාල කරන්නෙ නැතිව අතිකාල ගෙවීම් ලබාගත් බවට ඕන තරම් තොරතුරු තියෙනවා. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පරිසරයේ කුණු කසළ ඉවත් කරන එක කියලා. ඒකත් එක් කොටසක් තමා. ඒ නිසා ඒ ආයතනික වශයෙන් තියෙන කුණු කසලත් ඉවත් කරන්න ඕන ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දෙන්න නම්. මේකෙ ආචාර්‍ය ධර්මික පැත්තකුත් තියෙනවා. අපි අපිමත් වැඩකිරීමේදී පිරිසිදුකම සහ නිරවුල්කම පවත්නා ගන්න අවශ්‍යයි.