
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයන් බහුලව වාර්තාවීමත් සමග ඇඹිලිපිටිය නගර සභා සීමාවේ ව්‍යාපාරික ස්ථාන 18වන බදාදා සිට දින දාහතරක කාලයක් වසා දැමිමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කළ අඹිලිපිටිය නගර සභාවේ නාගරික සභික රුවන් පතිරණ මහතා අද (16) පැවසීය.
එසේම නාගරික සීමාවෙන් පිටත ව්‍යාපාරිකයන්ගෙන් ද මෙම දින වකවානු තුල තමන්ගේ වෙළඳසැල් වසා තබා කෝවිඩ් මර්දන කාර්යයට සහාය දෙන ලෙස නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.
ඇඹිලිපිටිය පළාත් මහ රෝහලේ ද කෝවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබයි. පසුගිය දිනවල ඇඹිලිපිටිය සහ අවට ප්‍රදේශයෙන් කෝවිඩ් මරණ වැඩිපුර වාර්තා විය.
කෝවිඩ් මරණ හයක් වාර්තා වු දින ද තිබූනි. එබැවින් වෙළඳසැල් වසා දැමීමේ තීරණයකට එළැඹිමට ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයන් එක්ව පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව ද රුවන් පතිරණ මහතා පැවසුවේය.
කෝවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ද ඇඹිලිපිටියේ ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයට පිටස්තර ප්‍රදේශවලින් ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් ගෙනෙනු ලබයි. එහෙත් මේ වනවිට එම මධ්‍යස්ථානය ද පිරී යන ලෙස කෝවිඩ් රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා බැවින් මෙවැනි තීරණයකට එළැඹීමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කළ බවද රුවන් පතිරණ මහතා සඳහන් කළේය.
ඇඹිලිපිටිය නගරය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇතත් ඌව සහ දකුණු පළාත් දෙකෙන්ම ජනතාව සිය අවශ්‍යතාවන් සඳහා දිනපතා පැමිණෙති. එම පළාත් දෙකේ මායිම් පිහිටා ඇත්තේ ඇඹිලිපිටිය නගරයට ඉතා ආසන්නවය.

