ආපදා පාලන පනතේ හිල් ගොඩක්


(සුජිත් හේවාජුලිගේ)

ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යාන්තර මට්ටමට ගෙනවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

එසේම ජාතික කළමනාකරණ මධ්‍යස්ථානය ස්වාධීන ආයතනයක් බවට පත් කළ යුතු බවත් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා එහි සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත් කිරීම වැදගත් බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ එවැනි කවුන්සිලයක් ඇති කිරීමට කටයුතු නොකළහොත් මෙවැනි හදිසි ආපදාවලදී ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි පාවිච්චි කර කටයුතු කිරීමට තවදුරටත් සිදුවනු ඇති බවයි.

ඉන්දියාවද ප්‍රබල පනතක් හරහා ආපදා කළමනාකරණය අද හරියාකාරවම කරන බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ කාලගුණ ආපදාව පිළිබඳව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ  කල්තියා දැනුවත් කර තිබූ බවද සඳහන් කළේය.

නමුත් එම දැනුවත් කිරීම් අනුව කටයුතු කිරීමට අවශ්‍ය බලතල කාලගුණ අංශ  සතුව  නැතැයි පැවසූ ප්‍රතිභා මහානාම හේවා මහතා ඒ සම්බන්ධයෙන්  ක්‍රියාත්මක නොවුණේ  ඇයි දැයි  අදාල  නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් නඩුවක් ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කළේය.

ඉදිරි කාලයේදී ලංකාව කාලගුණික විපර්යාස සුලභව සිදුවන රටක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති හෙයින් මෙරට ආපදා කළමනාකරණය සඳහා මෙවැනි ස්වාධීන බලතල සහිත ආයතනයක අවශ්‍යතාව තදින්ම දැනෙන බවද ඔහු වැඩිදුරටත් කීය.