ආණ්ඩුව ගෙදර යැවීමේ පොහොට්ටුවේ දින සීයේ වැඩසටහන අගෝ: 12 දා සිට


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලබන අගෝස්තු මස 11 වැනිදා ප්‍රකාශ කිරීමෙන් පසු 12 වැනි දින සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (24) පැවැසීය.

දින 100න් අලුත් රටක් තේමාවෙන් වත්මන් ආණ්ඩුව 2015 ජනවාරි 8 වැනිදා බලයට පැමිණි බව කී මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ලබන අගෝස්තු මස 12 වැනිදා සිටම වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ දින 100 වැඩපිළිවෙළ ආරම්භ කරන බව කීය. 

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.