(හර්ෂණ තුෂාර සිල්වා)
උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකබව සහ තත්ත්ව ආරක්ෂණය අවශ්‍ය බව පවසමින් ආණ්ඩුව ගැසට් කර තිබෙන පනත් කෙටුම්පත නීතියක් බවට පත්වුවහොත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට බරපතළ හානියක් සිදුවන ආචාර්ය දිලීප විතාරණ මහතා අද (30) පැවැසීය.
රජය උසස් අධ්‍යාපන (තත්ත්ව ආරක්ෂණ සහ ප්‍රතීතන) යනුවෙන් මෙම පනත් කෙටුම්පත ගැසට් කර ඇතැයි ද එය නීතියක් බවට පත්වුවහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නොවැදගත් ආයතනයක් බවට පත්වන බව ද ආචාර්ය දිලීප විතාරණ මහතා කීවේය.
අදාළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය දිලීප විතාරණ මහතා එම අදහස් පළ කළේය.
උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව පාලනය සහ ඒවා සහතික කිරීම සඳහා වෙනමම කොමිෂන් සභාව පත් කිරීමට මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇතැයි ද එම කොමිසම අතිශය දේශපාලනීකරණය වූවක් බවත් හෙතෙම කීය.
වර්තමානයේදී තත්ත්ව පාලනය සහ සහතික කිරීම සිදු කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් බවත් ඔහු කීවේය. එය සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති යන රාජ්‍ය නිලධාරීන් සිවුදෙනා පත්වන බවත් ඊට අමතරව තවත් නව දෙනකු පත්වන බවත් ඔහු කීවේය. ඔවුන් නවදෙනා පත්වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරන 15 දෙනකුගෙන් යැයි ද ඔහු කීවේය.
එහිදි අදහස් දැක්වූ ආචාර්ය දිලීප විතාරණ මහතා මෙසේ ද කීය.
“මේ කොමිසමට පූර්ණකාලීන සාමාජිකයන් පස්දෙනෙක් පත් කෙරෙනවා. පූර්ණකාලීන සාමාජිකයන් පත් කෙරෙන්නේ අර ඉහත කියන නවදෙනාගෙන්. සභාපති ලෙස පත්වෙන්නෙත් ඔවුන්ගෙන් කෙනෙක්. ඒ වගේම මේ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ පූර්ණකාලීන පස්දෙනාගෙන්. අමාත්‍යවරයා නම් කරන පිරිසගෙන් තමයි මොවුන් පත්වෙන්නේ. මෙය අතිශය දේශපාලනිකයි.
උසස් අධ්‍යාපනය කියන්නේ අතිශය බැරෑරුම් කාර්යයක්. එවැනි භාරදූර කටයුත්තක් හා වගකීමක් දේශපාලනීයකරණය වූ කොමිසමකට ලබාදීම බරපතළ ප්‍රශ්නයක්.
උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම ගැන ද මේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා. එහි ක්‍රියාවලියත් ගැටලුකාරී වෙනවා. එය බාහිරින් පැමිණෙන කථිකාචාර්යවරුන් පිරිසකගෙන් තමයි වෙන්නේ. බාහිරින් කෙරෙන ක්‍රියාවලියකින් විශ්ව විද්‍යාලයක ප්‍රමිතියක රැකගන්න බැහැ. විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම කියන්නේ ඉතාම විශාල ක්‍රියාවලියක්. විශ්ව විද්‍යාල තුළ ඒ සඳහා අංශ රැසක් තිබෙනවා. ඒ විශාල ක්‍රියාවලිය බාහිරින් පැමිණෙන පිරිසකට විතරක් සීමා කිරීමෙන් කරන්න බැහැ.
රාජ්‍ය විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන සියල්ල වෙනසකින් තොරව සැලකිය යුතු කියලා තවත් යෝජනාවක් මේ පනත් කෙටුම්පතින් ඉදිරිපත් වී තිබෙනවා. මෙය බරපතළ කරුණක්. ඒ වගේම එක් උසස් අධ්‍යාපනයක අධ්‍යාපන ලබන සිසුවකුට තවත් උසස් අධ්‍යාපන ආයතනයකට යන්න පුළුවන් කියන යෝජනාවක් ද ඉදිරිපත් වී තිබෙනවා. ඒ තුළින් පෞද්ගලික උසස් අධ්‍යාපනයක ඉන්න සිසුවකුට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙන්න අවස්ථා උදාවෙනවා. මේක අර්බුදයක්. රාජ්‍ය විශ්ව විද්‍යාල කියන්නේ පරිණත පද්ධතියක්. පෞද්ගලික විශ්ව විද්‍යාල කියන්නේ ආයතන ව්‍යුහය දුර්වල පද්ධතියක්. මේක දැඩි අර්බුදයක්. පෞද්ගලික උසස් අධ්‍යාපන ලාභය මත ක්‍රියාත්මක වන අධ්‍යාපනය පමණක් ලබාදෙන තැනක්. එහෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙන්නේ සමාජ සාධාරණය කියන මූලධර්මය මත. රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනයට අමතරව තවත් බොහෝ දේ ලබාදෙනවා. ”
මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේ පැවැසීය.
“අපි හැමදේටම විරුද්ධයි, හැමදේම විවේචනය කරනවා කියලා සමාජයේ ආකල්පයක් ගොඩනැගිලා තියෙනවා. අපි හැමදේටම විරුද්ධ නැහැ. එහෙත් අපේ විවේචනවලට සාධාරණ පිළිතුරක් දෙන්න ඕනේ. ඒක තමයි අපේ ඉල්ලීම. එහෙත් එවැන්නක් සිදුවෙන්නේ නැහැ. අපි ප්‍රශ්න නැහැ කියන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න විසඳන්න කලින් ප්‍රශ්න මොනවාද විසඳුම් මොනවාද කියලා බරපතළ සාකච්ඡාවක් කරන්න ඕනේ.
ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒවාට විසඳුම් අවශ්‍යයි. ආණ්ඩුවලින් මේවාට විසඳුම් ගේනවා. ඇත්තටම සමහර අවස්ථාවලදී විසඳුම් ගෙනෙන්නේ සත්‍ය ප්‍රශ්නවලට. හැබැයි ඒ විසඳුම් කොතරම් තාර්කික ද, ඒවායින් ඇතිවිය හැකි බරපතළ ප්‍රතිවිපාක මොනවාද පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ තැකීමක් නැහැ. ඒ විසඳුම් ඉදිරිපත් කරන අයටවත් ඒ දේවල් ගැන අවබෝධයක් නැහැ. ඒ වගේම ඇත්තම ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් කරන විසඳුම් අතර තාර්කික සම්බන්ධය පිළිබඳව අවබෝධයක් නැහැ. ඇතැම් අවස්ථාවලදී මූලික ප්‍රශ්න දිහා බලන්නෙවත් නැහැ. අතීත අත්දැකීම් සැලකිල්ලට ගන්නේ නැහැ. අනාගතයේ සිදුවිය හැකි ප්‍රතිවිපාක ගැන බලන්නේ නැහැ.
ඒ වගේම විසඳුම් හොයන සාකච්ඡා කෙරෙන්නේ හරි කඩිමුඩියේ. ප්‍රශ්න දිහා නිවීහැනෙහිල්ලේ බලන්නේ නැහැ. අධ්‍යාපනය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් වුණත් මේ තත්ත්වය තියෙනවා. බල්ලට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කියන්නේ, අන්න ඒ වගේ. වෙළෙඳ ගිවිසුම්වල තියෙන දේවල් කාටවත් තේරෙන්නේ නැහැ. නීති හදන්නේ අනාගතයේදී තමන්ගේ වාසියට හසුරුවන්න පුළුවන් විදියට. අනාගතයේදී තමන්ගේ වුවමනා ඉටු කරගන්න පුළුවන් විදියට. නීති අපයෝජනය කරන්න පුළුවන්. මේ පනත් කෙටුම්පත වුණත් එහෙමයි. හරිම රහසිගතයි. උදාහරණයක් විදියට නවකවදය. නවකවදය සම්බන්ධයෙන් නීතිය ගන්න, ඒකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි නවකවදය අහෝසි කරන්න බැහැ. සිසුන්ගේ ශිෂ්‍යභාවය පවා අහෝසි කරනවා, හැබැයි නවකවදය නවත්වන්න බැහැ.
උදාහරණයකට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය ගන්න. විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයක් නිසා උපාධිධාරීන් රැකියා වෙළෙඳපොළට ගැලපෙන්නේ නැහැ කියන එක තමයි ජනප්‍රිය විවේචනය. එහෙත් ඊට වඩා ප්‍රශ්න තිබෙනවා. ප්‍රශ්නවලට ජනප්‍රිය පිළිතුරු දෙනවා මිසක් ඒවාට බලපාන සත්‍ය කරුණු ගැන විමසා බලන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංඛ්‍යා දත්තවත් හරියට නැහැ. මේවාට බලපාන සමාජයීය ප්‍රශ්න දිහාවත් අවබෝධය යොමු කරන්නේ නැහැ.
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය නියාමනය කරන්න ඕනේ කියන එක තවත් කරුණක්. අපි කියන්නේ මේවා නියාමනය කරන්න ඕනේ නැහැ. නියාමනය කරනවා කියන්නේ ඒවාට පිළිගැනීමක් දෙන එක. උපාධි පිරිනමන ආයතන සහ විශ්ව විද්‍යාල කියන්නේ එකිනෙකට පරස්පර ආයතන. විධිමත් අධ්‍යාපනයක් ලබාදිය හැක්කේ රාජ්‍යයට පමණයි. ගුණාත්මකභාවය ආරක්ෂා කළ හැක්කේ එවිට පමණයි. සමහර දේවල් තියෙනවා ඒ දේවල් සිදුවිය යුත්තේ රාජ්‍යයේ මැදිහත්වීමෙන් පමණයි. අධ්‍යාපනය කියන්නෙත් එවැන්නක්.”
මෙහිදි අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ කීවාය.
“රාජ්‍ය විශ්ව විද්‍යාලවල යහපත උදෙසා කියමින් ගෙනැවිත් තිබෙන මේ පනත් කෙටුම්පතින් රාජ්‍ය විශ්ව විද්‍යාවලට විශාල හානියක් සිදුවෙනවා. ඒ වගේම පනත් කෙටුම්පත අධ්‍යාපන වෙළෙඳ භාණ්ඩයක් කිරීමට පරිසරය සකසනවා. අධ්‍යාපනය කියන්නේ වෙළෙඳ භාණ්ඩයක් නෙමෙයි. අධ්‍යාපනය විධිමත් විය යුතු යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනය ලබාදිය හැක්කේ රාජ්‍යයේ මැදිහත් වීමෙන් පමණයි”
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි සහ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)


