අලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම්


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී බවත්, පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිවරයා අමතක නොකරණු ඇතැයි තමන් විශ්වාස කරන බවත් කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම බවත්, එය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බවත් ඇය සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබේ.

සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතු යැයි තමන් විශ්වාස කරන බවත්, ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු බවත් පවසා ඇති හිටපු ජනාධිපතිනිය දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සුභාශිංසන පිරිනමන බව ද සඳහන් කර ඇත.