අලි මුදා හැරියාට මෝසමක් ගොනු කරයි


(නිමන්ති රණසිංහ)

නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුල් හිමිකරුවන්ට මුදාහැරීමට අධිකරණයෙන් ලබාදුන් තීන්දුව දෝෂ සහිත බව සඳහන් කරමින් පරිසර සංවිධාන කිහිපයක සාමාජිකයන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෝසමක් ගොනු කරමින් අද 13 කරුණු ඉදිරිපත් කළහ .

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනතේ 60 (ඈ) වගන්තිය ප්‍රකාරව පොදු දේපලක් වූ මෙම අලින් එලෙස මුදාහැරීමට අධිකරණ නියෝග ලබාගෙන ඇත්තේ අධිකරණය නොමග යවමින් බවද එම පරිසර සංවිධාන නියෝජනය කරමින් නීතීඥ කණ්ඩායමක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා  ඉකුත් 6 වැනිදා  දුන් මෙම තීන්දුව එලෙස දෝෂ සහගත බව සඳහන් කරමින් පරිසර සංවිධානය කිහිපයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ, නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, නීතිඥ දිලුශි ඩී. අල්විස් යන මහත්ම මහත්මීන් අධිකරණයේ පෙනී සිටියහ.

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත ප්‍රකාරව යම් අලියකු සම්බන්ධයෙන් භාරකරුවා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුවහොත් එය තහවුරු කර ගන්නා තෙක් එම සත්වයා වනජීවී භාරයේ පොදු දේපළක් වශයෙන් සැලකිය යුතු බවට සඳහන් වන අවස්ථාවක අධිකරණය පොද දේපලක් මුදාහැරියේ කෙසේදැයි නීතීඥ දීලුශි ඩි. අල්විස් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

නව ගැසට් පත්‍රයක් අනුව මෙය සිදුකළ බවට සඳහන් වුවත් ගැසට් නව පත්‍රයක් බලාත්මක වන්නේ අතීතයට නොව වර්තමානයට බවත් අලුතින් ගැසට් පත්‍රයක් ගැසුවා නම් එය අතීතයේ නීතිමය කටයුතු සඳහා අදාළ නොවන බවත් නීතීඥවරිය සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළව මහාධිකරණයෙ පවරා ඇති නඩුවේ දී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තිය යටතේ එක් එක් අලියා සම්බන්ධයෙන් විමර්ශන කර තොරතුරු තහවුරු කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට නියෝගයක් ලබාදී තිබියදීත් එසේ සිදු නොකොට අලින් මුදාහැරියේ කෙසේදැයි නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නාය.

එමෙන්ම මෙම ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අවස්ථාවක එය පදනම් කරගනිමින්, අදාල නියෝගයක් ලබා දෙන්නේ කෙසේදැයි නීතීඥවරිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබාදුන් එම තීන්දුව බලරහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි නීතීඥයෝ අධිකරණයෙන් ඉල්ලූහ.

මෙහිදී ඉදිරිපත්වූ මෙම කරුණු සම්බන්ධයෙන් තමන්ට පිළිතුරු ලබාදිය හැකි දැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීය.

අධිකරණය විසින් අලින් මුදා හරිනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැක්කේ නීතිපතිවරයාට ම බැවින් ඉදිරි දිනයේදී නීතිපති නියෝජනයක් ලබාගත හැකිනම් එය යහපත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය .