අල්ලස් ගන්න ගිය කොස්තාපල්ලා මාට්ටු


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ) 

මෝටර් රථයක් තුළ කතා කරමින් සිටි තරුණයකු සහ තරුණියක බියගන්වා කප්පම් මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අද (06) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයෙක් තලංගම පොලිසියට අනුයුක්ත රාජකාරී කරන අයෙක් බවත් අනෙක් කොස්තාපල්වරයා මිරිහාන  මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරියට වාර්තා නොකර සිටි කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.

තලවතුගොඩ කිඹුලාවල හන්දියේ යුද හමුදා කඳවුර ඉදිරිපිට රථ ගාලේ   මෝටර් රථය නවතා ඥාති සහෝදරිය සමඟ කතාබස් කරමින් සිටියදී සුදු පාටටහුරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ තිබූ සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා තමන් මිරිහාන  මූලස්ථාන පොලිසියේ බවත් මෝටර් රථය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තම ඥාති සහෝදරිය බිය ගන්නවා මෝටර් රථයට පහර දුන් බවත් එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

එම අවස්ථාවේදී තමන් ඔවුන් අමතා පොලිසියට යමු යැයි යෝජනා කර මෝටර් රථයේ පනගන්වා තලවතුගොඩ දෙසට පැමිණීමේදී  යතුරු පැදියේ පැමිණි පුද්ගලයන් දෙන්නා මෝටර් රථයට මග හරස්කර බාධා කළ බවත් ඔහු කල පැමිණිල්ලේ තව වැඩිදුරටත් සඳහන්ය.

එම අවස්ථාවේදී පොලිස් නිල ඇඳුමෙන් යතුරුපැදියක මාර්ගයේ ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකුට පැමිණිලිකරු ඒ බව පැවසීමත් සමගම එම නිලධාරීන් විසින් සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

සැකකරුවන් මේ ආකාරයෙන් තරුණ පෙම්වතුන් හා පුද්ගලයන් බියකර කප්පම් මුදල් ලබාගෙන ඇත්දැයි සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය කියයි.

පැමිණිලිකරු පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි