
(අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවකට අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
පසුගිය ආපදා තත්ත්වයට මුහුණ දීමෙන් පසු රටේ ආර්ථික සුරක්ෂිතතාව, සංවර්ධනය ඇතුළු සියලු ක්ෂේත්‍ර කෙරෙහි සලකා බලමින් රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ රජය මේ වන විට කාර්යක්ෂමව ක්‍රියාවට නංවා තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් සහාය ලබා දෙන ලෙසද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ආරාධනා කළේය.
මෙහිදී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු (FUTA) දැනට පවතින නීතිරීති සහ අණපනත් වලට අනුව ජාතික අධ්‍යාපන ආයතනය පදනම් කරගත් ව්‍යුහයක් මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව කරුණු පෙන්වා දුන්හ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාව තම සංගමයද පිළිගන්නා බවත්, නාගරික පාසල්වල දරුවන්ට වඩා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පවතින්නේ ග්‍රාමීය පාසල්වල දරුවන්ට බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගත් තීරණය තම සංගමය අගය කරන අතර ඒ සඳහා තම දායකත්වය ලබා දීමට සූදානම් බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩිදුරටත් සඳහන් කළහ.
පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් ඇතුළත් යෝජනාද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී. ආර්. වීරතුංග, උප සභාපති එම්. ඒ. එම්. සමීම්, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ යන මහත්වරු ඇතුළු එම සම්මේලනයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd