
(දසුන් රාජපක්ෂ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට ලබන 27 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(11) නියෝග කළේය.
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම මහතා විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කරන ලද පැමිණිල්ලකට අදාළව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වගඋත්තරකාරියක ලෙස නම්කිරීම හේතුවෙන් එම නියෝගය නිකුත් කෙරිණි.
අසත්‍ය සාක්ෂි සකස් කර අල්ලස් කොමිසම තමාට එරෙහිව නඩු පැවරීම මගින් දේශපාලනිකව පලිගෙන ඇති බව රෝහිත බෝගොල්ලාගම මහතා එම පැමිණිල්ලෙන් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබේ.
මෙම පැමිණිල්ලට අදාළව තවත් වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින අල්ලස් කොමිසමේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.ආර් සුනේන්ද්‍ර මහතාටද ලබන 27 වැනි දින මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළේය.
රෝහිත බෝගොල්ලාගම මහතා මෙම ජනාධිපති කොමිසමට කළ පැමිණිල්ල අද(11) යළි කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ රජයේ අධිනීතීඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය මීට ඉහතදී මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළ දිනය අත්වැරදීමකින් අගෝස්තු 13 වැනිදින ලෙස සඳහන් කර ඇති බව පවසා සිටියාය.
එම දිනය නිවැරදි නොවන බැවින් පැමිණිල්ලේ වගඋත්තරකරුවන්ට නැවත නොතීසි නිකුත් කිරීමට වෙනත් දිනයක් නම්කරන ලෙසද, රජයේ අධිනීතීඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියාය.
එමෙන්ම මෙම පැමිණිල්ලට අදාළව රෝහිත බෝගොල්ලාගම මහතාගෙන් සාක්ෂි විමසීම මේ වනවිට අවසන් කර තිබෙන බවද, රජයේ අධි නීතීඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය දැනුම් දී සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වගඋත්තර පාර්ශ්වයට අදාළ නියෝගය නිකුත් කළ අතර, පැමිණිල්ල ලබන 27 වැනි දින යළි කැඳවීමට නියම කළේය.

