(සුජිත් හේවාජුලිගේ)
මීළඟ අයවැයෙන් අමාත්‍යාංශ 8කට මුළු මුදලින් සියයට 86ක් වැය කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත අනුව පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවැසීය.
අමාත්‍යාංශ විසි එකකට වෙන් කෙරෙන්නේ සියයට 14කට වඩා අඩු මුදලක් බවද ඔහු සදහන් කළේය.
අමාත්‍යාංශ දෙකකට වැය කිරීමට අපේක්ෂා කරන මුදල මුළු වියදමෙන් සියයට 42ක් බව පවසන මහාචාර්යවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් කෝටි 56500 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. එය මුළු වියදමින් සියයට 15 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
අධ්‍යාපනය සදහා වැය කෙරෙන්නේ රුපියල් කෝටි 23700 ක් පමණක් බව සඳහන් කරන වසන්ත අතුකෝරළ මහතා එය ආරක්ෂාව සඳහා කරන වියදමින් භාගයකවත් මුදලක් නොවන බවද සඳහන් කළේය.
සෞඛ්‍යය සදහා රුපියල් කෝටි 44000 ක් වන අතර එය ආරක්ෂක වියදමට වඩා අඩු මුදලක් බවද ඔහු කීවේය.
ණය ගෙවීම් හැර රජයේ අමාත්‍යාංශ 29 කට සහ විශේෂිත වියදම් ඒකකයට අදාලව වියදම් කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 386000 ක් බවත් එය පෙර වසරට වඩා රුපියල් කෝටි 20300 ක පමණ වැඩිවීමක් බවද මහාචාර්යවරයා පැවසීය.
ලබන වසර සඳහා වනවිසර්ජන පනත් කෙටුම්පත ලංකාවේ ආර්ථික අර්බුදයට එහා ගිය කඩා වැටීමක් පෙන්නුම් කරන එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

