
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙවන ලෙසත් ඉල්ලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එන්තර වාසියක් අද (25) යොමු කර ඇත.
අමරවීර මහතාගේ ප්‍රකාශය මගින් සිදුවූ අපහාසයට දින දාහතරක් ඇතුළත වන්දි නොගෙවන්නේ නම් නඩු පවරන බව ද එහි සඳහන් කර ඇත.
නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගින් යොමු කළ එම එන්තරවාසියේ මෙසේද සඳහන් වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වසර 50කට ආසන්න කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ සහ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිධූරය හොබවන ලද අයෙක් වෙයි. මහවැලි, පරිසර සහ සෞඛ්‍ය වැනි වගකිවයුතු අමාත්‍යංශ ගණනාවක අමාත්‍යධූර දරමින් මේ රටට විශාල සේවයක් සිදු කොට ඇත. මෑත කාලයේදී සිදු කළ දැවැන්ත ම ව්‍යාපෘතියක් වන මොරගහකන්ද වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය නායකයෙකි.
2024 අප්‍රේල් 22 වැනිදා ප්‍රසිද්ධ මාධ්‍යයට කළ ප්‍රකාශය අනුව මාගේ සේවාදායකයාට අපකීර්තියක් අපහාසයක් සිදුව ඇත.

