(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසල්වල මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කෙරිණි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති පාසල් වල මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාව නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්විය

මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් සහ තනතුරු අනුව ස්ථානගතකර ඇති ආකාරය දැක්වෙන සහ ඉදිරි වසර 5 සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම ඇතුළු කාරක සභාව ඉදිරිපත් කළ යෝජනාද මෙහිදී සාකච්ඡා කෙරිණ

විදුහල්පති පළමුවන ශ්‍රේණියේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුර ම පමණක් දැරීම, සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය.

මේ අනුව මෙම යෝජනා පිළිබඳ අමාත්‍යාංශයේද යෝජනා සහ අදහස් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. අනතුරුව මීට අදාළ අවසන් නිර්දේශ සකස් කිරීමට නියමිත බව අනුකාරක සභා සභාපතිවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.