( ෂේන් සෙනෙවිරත්න)
බරපතළ අපරාධකරුවන් නිර්මාණය කරන ස්ථානයක් බවට වර්තමානයේදී සිරගෙදර පත් වී තිබෙන බවත් එය වැළැක්වීම සඳහා ඉදිරියේ දී නීති ප්‍රතිසංස්කරණ සිදු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය .
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ පල්ලෙකැලේ එළිමහන් බන්ධනාගාරයේ පැවති සිව්වන නේවාසික මානවක බාලදක්ෂ කඳවුරේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි .
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය .
රටක ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන්නේ මොන වෙලාවෙ ද කියා තීන්දු කළ නොහැකියි . රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕනෑම රජයක් සූදානමින් සිටිය යුතුයි . ගෙන ඒමට බලාපොරොත්තු වන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වන කණ්ඩායම් වලට විකල්ප දෙකක් තිබෙනවා . ඉන් පළමුවැන්න තිබෙන ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත එසේම තබා ගැනීමත් දෙවැන්න වන්නේ රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතය විනාශ වීමට ඉඩ හැර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි . රටේ ජනතාවගේ අයිතිවාසිකම් බලන්නේ දේශපාලන පක්ෂ හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ නොවෙයි . රටේ ජනතාව වෙනුවෙන් අවසානයේ පෙනී සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි .
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන පනතක් යැයි කිසිවෙකු අභියෝගයට ලක් කරන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සති දෙකක කාලයක් ලැබෙනවා .
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතෙන් ජනමාධ්‍යයට නව නීති කිසිවක් එක් කොට නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය නීති දණ්ඩ නීති සංග්‍රහයේ දැනටමත් තිබෙන බවද පැවසීය .
අද වන විට බරපතළ අපරාධකරුවන් නිර්මාණය කරන ස්ථානයක් බවට සිරගෙදර පත්වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා සුළු වැරදි වලට සිරගත වන පුද්ගලයන් බරපතළ බරපතල අපරාධකරුවන් සමඟ මිශ්‍ර වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව අමාත්‍යවරයා පැවසීය . එය වැලැක්වීම සඳහා ඉදිරියේදී නීති ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව ද පැවසීය .

