අනුරපුරේ අඹුසැමි යුවළක් රජකාලේ වැඩක


(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර පොලිසියට විරුද්ධව අඹුසැමි යුවළක් අද (21) පොලිසිය ඉදිරිපිට මාර ගසකට නැග මාරාන්තික උපවාසයක් ඇරඹුහ.


මෙසේ මාරාන්තික උපවාසයක නිරතව සිටින්නේ සින්නික්කුලම,මොරගොඩ,ශ්‍රාවස්තිපුර පදිංචි ඩබ්.ජේ.ඒ.විජේරත්න (47) සහ පි.ජි. ශාන්තිලතා සුධර්මා (45) නැමති අඹුසැමි යුවළකි.

අනුරාධපුර පොලිසියට විරුද්ධව මාර ගසට නැග මාරාන්තික උපවාසයක් අරඹා ඇති විජේරත්න ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සත්ව ගොවිපල හිමියෙකි. 

තමන්ට අනුරාධපුර පොලිසියෙන් සිදුව ඇති ගැහැටකම් සහ ආසාධාරණයන් සම්බන්ධයෙන් ඔහු මෙසේ පැවසීය.

‘අවුරුදු ගණනක් අනුරාධපුර පොලිසියෙන් මට කරදර කළා. සත්ව ගොවිපලෙන් මස් නොමිලේ ඉල්ලනවා. පගාව ඉල්ලනවා. මගේ ගොවිපලේ තාරාවෝ හතර දෙනෙක් අල්ලපු නිවසේ කාන්තාවගේ සුන්‍යඛයන් විසින් මරා දැමුවා. ඒ පැමිණිල්ල මෙතෙක් විභාග කලේ නැහැ. අපි පොලිසියට ගෙන්වලා රස්තියාදු කරනවා. ඒ වුණාට අල්ලපු ගෙදර කාන්තාව විසින් අපිට විරුද්ධව දාපු පැමිණිල්ල විභාගයටත් නොගෙන මටත් මගේ බිරිදටත් දරුවෝ තුන් දෙනෙකුට සහ තවත් ඥාතීයකුට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු වගකිව යුතු සියළු දෙනාට පැමිණිලි කළා. කිසිම සාධාරණයක් වුණේ නැහැ. දැන් අවුරුදු ගණනක් තිස්සේ පොලිසිය අපිට කරදර කරනවා. මේ ප්‍රශ්න නිසාම මගේ බිරිදත් රෝගියෙක් වුණා. මගේ දරුවෝ හොදින් ඉගෙන ගන්න දක්ෂ දරුවෝ. ඔවුනුත් මේ නිසා පීඩාවට පත්වෙලා සිටිනවා. ඒ නිසා තමන්ට සාධාරණයක් ඉටුවන තුරු තමන් ගසින් නොබසින බව’ හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක සංජිව මහනාම මහතාගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසීය.

ගස මතට නැගී සිටින පුද්ගලයා විසින් පොලිසියට කර ඇති පැමිණිලි සියල්ල විභාග කළ බවයි.