(සුජිත් හේවාජුලිගේ )
නත්තල් පප්පලා වගේ නිකං කන්න බොන්න සල්ලි දෙන ආයතන ලෝකයේ දැන් නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් ලබාදෙන්නේ ලබාදෙන සල්ලි නැවත ගෙවන්නේ කොහොමදැයි නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කළහොත් පමණක් බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බොහෝ වෘත්තිය සමිති ගනු මිස දෙනු නැති බව පැවසූ අමාත්‍යවරයා ආර්ථිකය කඩාවැටීමට බොහෝ පුද්ගලයන් වගකිවයුතු බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කටුනායක ගුවන් තොටුපොළ සමාගමේ සේවකයන්ගේ දූ දරුවන්ට ( 5 වසර ශිෂ්‍යත්ව ) ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සංවිධානය කළ මෙම උත්සවය කටුනායක ගුවන් තොටුපොළ සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණ.
දරුවකුට මුදලින් රුපියල් දසදහසක්ද පාසල් බෑගයක් සහ පොත් කට්ටලයක්ද දිවා ආහාර වේලද පිරිනැමණු ලැබීය .මෙයට අමතරව ගුවන් තොටුපොළ හා ගුවන් යානයක් නැරඹීමටද අවස්ථාව සලසා දෙන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නිමල් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළේය.
වෘත්තීය සමිති තීන්දු ගැනීමේදී පළමුව ආයතනයේ පැවැත්ම ගැන කල්පනා කළ යුතුයි. වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට සම්බන්ධවිම අප කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ .නමුත් වෘත්තිය සමිති තම අරගල තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලන පක්ෂවල දෘෂ්ටිකෝණයෙන් බලා නොව ආයතනයේ අභිවෘද්ධියට එය කොතරම් ඉවහල් වන්නේද යන්න සිතා බලලයි
බොහෝ වෘත්තීය සමිති හැමවිටම කරන්නේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම පමණයි.ඔවුන් තමන්ගේ සාමාජිකයන්ට යමක් දෙන්නෙත් නැහැ. ආයතනයට යමක් දෙන්නෙත් නැහැ. වෘත්තීය සමිති සියල්ල එක සමාන නමුත් මම වෘත්තීය සමිතියකට වටිනාකමක් දෙන්නේ වෘත්තීය සමිති තම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා කොතෙක් කැපවී කටයුතු කරනවද කියන එක සලකා බලලයි.ගුවන් තොටුපළ වෘත්තීය සමිතිය සිය සාමාජික දරුවන් දිරිමත් කිරීමට තිළිණ ප්‍රදානය කිරීම මෙරට අනෙක් වෘත්තීය සමිතිවලට ආදර්ශයක්.
විශේෂයෙන් අපේ රටේ ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති අවස්ථාවේ වෘත්තීය සමිති තම ආයතනය පිළිබඳ සිතා කටයුතු කිරීම වැදගත් වෙනවා.අපේ රට මේ ආර්ථික තත්වයට වැටීම පිළිබඳව වගකිවයුතු බොහෝ පුද්ගලයන් සිටිනවා. සමහර දේවල් වලට අපිත් වගකියන්න ඕනැ.ඒක අද අපේ දෛවයේ සරදමක් බවට පත්වෙලා තිබෙනවා.නමුත් අපි අතීතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් අපි කටයුතු කළ යුත්තේ මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒමටයි.ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයයි.
ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අපට සිද්ධ වෙනවා.අපි අකමැතියි කියලා ඒවා නොකර හිටියොත් අපේ රට තවත් ප්‍රපාතයට යනවා.මේ රටේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න අයිඑම්එෆ් එක කියනවා.තමුන්නාන්සේලාගේ ආයතනයත් පාඩු ලබනවා නම් අනිවාර්යෙන්ම එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. අකමැත්තෙන් වුවත් අපි එය නොකළොත් අපිට මේ ප්‍රපාතයෙන් ගොඩ එන්න කවුරුත් අත දෙන්න එන්නේ නෑහැ.නමුත් එතනදී අපි වැඩකරන ජනතාව රැක ගනිමින් තමයි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුත්තේ.
එසේම ආයතනයක කාර්මික සාමය රැක ගත යුතුයි.එදා අරගලයට සහය දීමට වරායේ වැඩ වර්ජනයක් කළා. එහි ප්‍රතිඵලය වුණේ කොළඹ වරායට ආ නැව් දාහතක් ආපහු හරවලා සිංගප්පූරුවට යෑමයි.ඔවුන් නැවත අපේ වරායට එන්නේ නැහැ.ඒකෙන් රුපියල් කෝටි 12ක් පාඩු වුණා.හෙට අනිද්දා තමුන්නාන්සේලාත් අරගලය හෝ වෙන දෙයක් ගැන කියා වර්ජනය කරලා මෙහෙට එන ගුවන් යානා හරවලා ඇරියොත් ආයෙත් ඒ ගුවන් යානා මෙහෙට එන්නෙ නැහැ.අපේ ගුවන් තොටුපොළ වැඩ අඩාල කරන, හෙමින් වැඩ කරන වැඩ බාල කරන තැනක් නම් කිසිම ගුවන් සමාගමක් ගුවන් යානා එවන්නේ නැහැ.ඒ නිසා ගුවන් තොටුපොළ පාලන අධිකාරියත් වෘත්තීය සමිතිත් අතර මනා සබැඳියාවක් තිබිය යුතුයි.එහිදී පාලක හා වෘත්තිය සමිති දෙපාර්ශයම නම්‍යශීලී විය යුතුයි.අපේ ජාතික ගුවන් සේවය ජාතික සම්පතක් ලෙස ආරක්ෂා කරගත යුතුයි.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර,ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර ,ගුවන් තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති වර්ණසිරි බංඩාර මුහන්දිරම්,ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.