(ඩයනා උදයංගනී)
මහරගම අපේක්‍ෂා රෝහලේ හිඟ පිළිකා ඖෂධ කඩිනමින් ගුවන් මගින් ගෙන්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ වන විට මහරගම අපේක්‍ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 5ක හා තවත් ඖෂධ වර්ග 7ක හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් එම ඖෂධ ලබාදිය යුතු රෝගීන් රෝහලට ඇතුළත් කරගැනීම පවා තාවකාලිකව නවත්වා ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
තවත් ඖෂධ වර්ග 71ක පමණ හිගයක් රෝහල්වල පවතින බවත්, මාස දෙකක පමණ කාලයක් තිස්සේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප‍්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය මෙම ඖෂධ වර්ග රෝහලට කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව එක් ඖෂධයක් ගුවන් මගින් ද තවත් ඖෂධයක් දේශීය නියෝජිතයා මගින් හා සෙසු ඖෂධ හදිසි මිල දී ගැනීම්වලින් ලබා ගැනීමට තීරණය වී ඇතැයි එම ප‍්‍රකාශකයා කියා සිටියේය.
පවතින ඖෂධ හිඟය කඩිනමින් විසදීමට ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද ඔහු ප‍්‍රකාශ කළේය.
පිළිකා ඖෂධ කඩිනමින් ලබා දීමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදු ගත කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට මෙහිදී උපදෙස් දුන් බව ද ඔහු කීවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (වෛද්‍යසැපයුම්) ලාල් පනාපිටිය මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.