අටුළුගම ආසාදිතයින්ගේ අමනවැඩ ගැන ලියූ මාධ්‍යවේදියාට තර්ජන


 

"බස් වලින් යද්දි අටුලුගම ආසාදිතයෝ පොලිස් මුරපොල මගදෙපස කෙළ ගහලා " පුවත ලියූ බණ්ඩාරගම ලංකාදීප මාධ්‍යවේදීයාට එම පුවතට අදාළව කිසියම් පුද්ගලයකු  අද(22) දුරකතනයෙන් තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පානදුර  ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලය ට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහුට  ඊයෙ (21) ලද විශ්වාසදායක තොරතුරක්  තව දුරටත් සොයා බලා සාක්ෂි සහිතව  සනාථ කර ගැනීමෙන් අනතුරුව  එම පුවත විද්‍යුත් මාධ්‍යවලට මුදාහැරීමෙන් අනතුරුව  එදිනම රාත්‍රී ප්‍රචාරය වූ අතර  අද  (22) මුද්‍රිත මාධ්‍යවල  ප්‍රධාන පුවතක් ලෙස පළ කෙරිණි.

ඊයේ එම පුවත සම්බන්ධයෙන් නීතිඥවරයෙකු යැයි  කියා ගන්නා පුද්ගලයෙක් ඔහුගෙන්  ඒ පිළිබඳ  විමසීමේදී එම පුද්ගලයාට  පිළිතුරු ලබාදීමට  තමන් සූදානම් නැති  බවත් අවශ්‍ය වූ දිනක සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව තිබෙන බව  මාධ්‍යවේදියා  පැවසීමෙන් පසු එම පුද්ගලයා ඊට උරණ වී බලාගමු යයි  තර්ජනය කළ  බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

තමන් ප්‍රවෘත්ති වාර්තා සපයන්නේ දුප්පත් පොහොසත් ජාති ආගම් භේද  සැලකිල්ලට ගෙන  නොමැති බවත් කොරෝනා වයිරසයට  (විෂබීජයට) ජාති ආගම් බේද නොමැති බවත්  සියලු  ජාතීන්ගේ  සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා  එම පුවත පළ කළ බවත්  ඔහු කළ පැමිණිල්ලේ  සඳහන් වේ.

පළකළ එම පුවත සම්බන්ධයෙන් විමසා ඔහුගේ ජංගම  දුරකථන අංකයට ලද  දුරකථන අංකය ද  පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.