(සුජිත් හේවාජුලිගේ )
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව එසේ කටයුතු කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති ධුරය හිස් වීමෙන් පසු , නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම අතර කාලයේදී , අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතුය. එවිට අග්‍රාමාත්‍ය ධුරය හිස්වන බැවින්, එම ධුරයේ වැඩබැලීම සඳහා වැඩබලන ජනාධිපතිවරයා විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කරනු ලැබිය යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ බව සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 40 (1) (ඇ) වගන්තියේ බවත් ඔහු ප්‍රකාශ කරයි.
වත්මන් අගමැති, වැඩබලන ජනාධිපති නම්, ව්‍යවස්ථාවට අනුව ඔහු දැන් අගමැති ධුරය සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු පත්කළ යුතුය. 1993දී මෙසේ අගමැති වූයේ එවකට සභානායක වූ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කිරීමත් සමග, එවකට අගමැති ඩී.බී.විජේතුංග මහතා, වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමත් සමග, විජේතුංග මහතා, එවකට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළේය. එහිදී සම්ප්‍රදාය වූයේ අගමැතිගෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායකවරයා ජ්‍යෙෂ්ඨ හා සුදුස්සා ලෙස සැලකීමේ ක්‍රමවේදයයි. ඒ අනුව මෙවර සභානායක වන, අමාත්‍යවරයකුද වන ජ්‍යෙෂ්ඨයාද වන, දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැති ධුරයට පත් කිරීම කළ යුතු බව ජයකොඩි මහතා සඳහන් කරයි.