අගමැති රනිල්ගේ ගෙට ගිනි තැබුවැයි මන්ත්‍රී රංගාට ඇප


(නිමන්ති රණසිංහ)

අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) යළි කැදවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් සැකකාර ශ්‍රී රංගා මහතා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මෙම නියෝගය නිකුත් විණී.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පස්වැනි පටුමගේ පෞද්ගලික නිවසට’ පහර දීමට පෙර එදින සවස් වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර, එහි මූලිකත්වය ගෙන ඇත්තේ මෙම සැකකරු සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරාගේ පුත්‍රයා බවත් එම සැකකරු මේ වන විට මෙරටින් පැනගොස් ඇති අතර ඔහු මෙම නඩුවේ පස්වැනි සැකකරු වශයෙන් නම්කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.