අකුරල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි


( එම්.සුසිල් පියන්ත)

 අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයෙන් ඊයේ(13) පස්වරුවේ  දිය නෑමට  ගොස් දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (14)  අකුරළ වෙරළ තීරයට ගොඩ  ගසා තිබියදී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

 මෙසේ සොයා ගනු ලැබූවේ මීටියාගොඩ  වෙදවත්ත   පදේශයේ   පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ  එකොළොස් වන වසරේ ඉගෙනුම ලැබූ එච්.බී.සංජන නමැති දාහත් හැවිරිදි  පාසල් සිසුවා ගේ   බවද පොලීසිය කියයි.

 සම වයසේ තවත්  සිසුන් දෙදෙනෙකු සමග මිය ගිය සිසුවා මුහුදේ දිය නාමින් සිටියදී තිදෙනාම මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර අනෙක් දෙදෙනා   පදේශවාසීන්  මුහුදට පැන බේරාගෙන ඇත.

මිය ගිය සිසුවා බේරා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ගොස් තිබුණි.බේරාගත් සිසුන් දෙදෙනා  පතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුලත් කළ ඇති බවත් ඔවුන් දෙදෙනාගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අවුරුදු නිවාඩුව නිසා මේ සිසුන් තිදෙනා මිතුරෙකුගේ නිවසකට යනවා යයි සිය නිවෙස්වලට දන්වා මුහුදේ නාන්න ගොස් සිටියදී හදිසියේ ආ රළ පහරකට ගසාගෙන ගොස් ඇති බවද පැවසේ.  අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.