LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා


එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී ඇත.

කැනඩා මාධ්‍ය අනුව, ගැරී ආනන්දසංගරී මහතා, හිටපු එල්.ටී.ටී.ඊ සාමාජික ශ්‍රී ලාංකිකයකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට කැනඩාව් පුරවැසිභාවය ලබා දීමට සහාය පළ කර ඇත. ඒ, ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් යොමු කරමිණි.

2016 දී හා 2023 දී ගැරී ආනන්දසංගරී මහතා කැනේඩියානු දේශසීමා නියෝජිත ආයතනය වෙත අදාළ එම ලිපි යොමු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ, ගැරී ආනන්දසංගරී මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරද්දීය.

සෙන්තුරන් සෙල්වකුමාර්, සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ අයකු බැවින්, කැනඩා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයක දී ඔහුගේ පුරවැසිභාවය ලබා දීමේ ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මානුෂීය කරුණු සලකා බලා සෙන්තුරන් සෙල්වකුමාර් නමැත්තාට, කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලබා දීමට පියවර ගන්නා ලෙස ගැරී ආනන්දසංගරී මහතා එම ලිපි මගින් ඉල්ලා ඇත.

එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ආනන්දසංගරී මහතා සිදුකර ඇත්තේ ත්‍රස්තවාදයට සහය පළ කිරීමක් බව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවය.

අදාළ චෝදනා සම්බන්ධයෙන් කැනේඩියානු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්දසංගරී මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවැසිය නොහැකි බවය.

තමන් කිසිම විටෙක ත්‍රස්තවාදී සංවිධානයකට සහාය නොදක්වන බවත්, ත්‍රස්තවාදී සංවිධානයකට පක්ෂව තීරණ නොගන්නා බවත්, ආනන්දසංගරී මහතා අවධාරණය කර ඇත.