
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී අර්මුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ පස්වැනි සහ හයවැනි සමාලෝචනවලට ඊයේ (27) විධායක කමිටු අනුමැතිය ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එහි වාරික ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඒ අනුව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යනු ඇති බවත් එහි සඳහන් වේ.
විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කර සිටියේ අරමුදල් වැඩසටහන ශ්‍රී ලංකාව ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි. ඒ යටතේ ක්‍රියාත්මක වූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන මෙරට ආර්ථිකයට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකළ බවත් එය දිට්වා සුළි කුණාටුව සහ මැද අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලබාදුන් බවත් ඔහු පැවැසුවේය.
කෙසේ වෙතත් මැද පෙරදිග අර්බුදය මෙරට ආර්ථිකයට වර්ධනය වීමේ හැකියාව පහළ දමා තිබෙන බවත් එය මෙරට ආර්ථිකයට ආර්ථිකයට සෘණාත්මක බලපෑම් එල්ල කරන තිබෙන බවත් ඔකමුරා මහතා ප්‍රකාශ කළේය.
අරමුදල් වැඩසටහනේ කාර්ය සාධනය සාමාන්‍යයෙන් ශක්තිමත්ව පවතින නමුත් රාජ්‍ය මූල්‍ය හා ආයෝජන කළමනාකරණය සහ විදුලිබල අංශ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට උත්සාහයන් අවශ්‍ය වන බවද ඔහු පැවසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම නිවේදනයට අනුව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් වනු ඇති අතර එය ලබන වසරේ සියයට 3.2ක් ඉහළ යනු ඇති බවත් 2028 වසරේදී නැවතත් සියයට 3.1ක් දක්වා ආර්ථික වර්ධනය වේගය පහළ යනු ඇති බවත් සඳහන් වේ.
එසේම මෙරට දළ නිල සංචිත මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.6 දක්වා ඉහළ යනු ඇති බවත් එය ලබා වසරේ බිලියන 11.7 දක්වාත්, 2028 වසරේ බිලියන 13.9 දක්වාත් ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කර ඇත.
බාහිර ණය මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.7ක් දක්වා ඉහළ යනු ඇති බවත්, ලබන වසරේ එය බිලියන 58.9 සහ 2028 වසරේ බිලියන 60.2 දක්වාත් ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කළේය.

