60 පැන්න හෙද නිලධාරීන් විශ්‍රාම යැවීම: අභියාචනාව සලකා බැලීම 9 දා


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම මෙම මස 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙසේ නියෝග කළේ මෘර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අභියාචන පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

අභියාචනාධිකරණය මගින් නිකුත් කළ අතුරු නියෝගය බල රහිත කර රිට් පෙත්සම ඉවත දමන ලෙස සිය අභියාචන පෙත්සමෙන් නීතිපතිවරයා ඉල්ලා ඇත.