19 වැනි සංශෝධනයේදී ජනපති කළ කැපකිරීම් ප්‍රශංසනීයයි


(බිඟුන් මේනක ගමගේ)

19 වැනි සංශෝධනය යනු රට ඉල්ලා සිටි දේශපාලන පරිවර්තනයේදී එක තැනක සිට තවත් තැනකට යන කාලය දක්වා වූ තාවකාලික ලැගුම්හලක් යැයි ද එය පරිපූර්ණ වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමෙන් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා 'ලංකාදීප' යට පැවසීය.

මෙම දේශපාලන පරිවර්තනයේ නිම නොකළ වැඩ කොටස පැවැරී ඇත්තේ ඊළඟට පත්වන ආණ්ඩුවට වුවත් එය සිදුවනු ඇත්තේ ඇත්ත වුවමනාවක් තිබුණහොත් පමණක් යැයි නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා කීය.

ජනාධිපති හා අගමැති යන ධූර දෙකම එකම පක්ෂයකට ලැබුණොත් මේ ගැටලුව විසඳාගැනීම පහසු කරනු ඇතැයි ඇතැමුන් නගන තර්කයෙහි කිසියම් සත්‍යක් තිබුණත් පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී වැදගත් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

කවර සීමාසහිතකම් පැවැතිය ද 19 වැනි සංශෝධනයේදී ජනාධිපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කැපකිරීම් ප්‍රශංසනීය යැයි කී හෙතෙම 19 වැනි සංශෝධනය යථාර්ථයක් වූයේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් වෙත පුද්ගලිකව කතාබහ කර ඊට ලබාගත් සහාය නිසා යැයි අවධාරණය කළේය.

රාජ්‍ය නායකයා පවා විවේචනය කිරීමට තරම් ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් එමගින් නිර්මාණය වූ නමුත් එහි උපරිම වාසි ගනු ලබමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී දුෂ්ට බලවේග විසින් යැයි නීතිඥ යුසුෆ් මහතා චෝදනා කළේය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන්ට දුන් දේශපාලන පොරොන්දු පත්‍රය වෙනුවෙන් එකාවන්ව වැඩ කරනු ඇතැයි යන ජනතා අපේක්ෂාව ජනපති හා අගමැති දෙදෙනාම භංග කළේ යැයි ද යුසුෆ් මහතා සඳහන් කළේය.