'මැතිවරණ මැරයොත් මහජන නියෝජිතයන් වෙනවා'


(බිඟුන් මේනක ගමගේ)
 
 
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද පොළ මැර ක්‍රියා කරන්නන්ට එරෙහිව පවතින නීති තවත් දැඩිවිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
ඡන්ද පොල මැර ක්‍රියාවලට නීතියෙන් වැරුදිකරු වී අත්හිටවූ සිරදඬුවම් ලැබූවන් පවා පවතින නීතිය යටතේ මැතිවරණවලට තරග කර මහජන නියෝජන ආයතනවලට පත්වන්නේ යැයි ද දේශප්‍රිය මහතා කීය.
 
වැරදිකරුවන් සමාජගත කරන ක්‍රමයක් හැටියට අත්හිටවූ සිරදඬුවම් දීම භාවිතා වුවද මහජන නියෝජන ආයතනවලට තේරී පත්වන්නන් සම්බන්ධයෙන් එම දඬුවම ප්‍රමාණවත්ද යන්න ගැන නැවත සිතිය යුතුව ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.
 
සමාජයට එරෙහිව කරන වරදකදී මෙවැනි තැනැත්තන්ගේ නියෝජ්‍යත්වය අහිමි කිරීම වැනි දඬුවම් පැමිණවීමක් විය යුතු නොවේ දැයි ප්‍රශ්න කළ හෙතෙම මෙවැනි තත්ත්ව ගැන මහජන සංවාදයක් නිර්මාණය විය යුතු යැයි අවධාරණය කර කීය.
 
දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් රට තුළ දේශපාලන සංවාදයක් ආරම්භ වී තිබීම යහපත් යැයි ද මැතිවරණ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය බැඳුණු අනෙකුත් අංශවලට ද ඒ සංවාදය ව්‍යාප්ත විය යුතු යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.