සුරංගනා කතා ප්‍රශ්නවලට විසඳුමද?


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට උසාවියෙන් ලබා දුන් සංශෝධන ඇතුළත් නොකිරීම, යුක්තිය මෙහෙයුමට එල්ල වෙන චෝදනා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ ආදී කාලීන දේශපාලන මාතෘකා රැසක් ගැන මේ සාකච්ඡාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමගය.

 

ප්‍රශ්නය:- රටේ හැමතැනම මිනී මැරුම් සිද්ධ වෙනවා. අපරාධ වැඩි වෙලා. ආණ්ඩුවට රටේ සාමකාමී වාතාවරණයක් පවත්වා ගෙන යන්න බැරි තත්වයක්ද ඇති වෙලා තියෙන්නෙ?

පිළිතුර:- ඒ කතාවට අපිට එකඟ වෙන්න බෑ. පහුගිය කාලේ මිනිස්සු හිටියෙ පාරෙ. නීතියක් තිබුණෙ නෑ. හෙල්මට් එකක් නැතුව යතුරුපැදියක් පදවන අයට රථවාහන වැරදි කරන අයට පොලිසියට දඩ කොළයක්වත් දෙන්න බැරි තත්වයක් පහුගිය කාලෙ තිබුණෙ. එවැනි තත්වයක තිබුණු රටක් තමයි අපි භාර ගත්තෙ. ඒ තත්වයෙන් සෑහෙන දුරකට රට මුදා ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒත් තව කළ යුතු දේවල් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි දැඩිව කටයුතු කරනවා.

ප්‍රශ්නය:- යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගත්තට රටට මත්ද්‍රව්‍ය ගෙන්වන අය අත්අඩංගුවට නොගන්නා බවට චෝදනා එල්ල වෙනවා. ඒ ගැන මොකක්ද කියන්න පුළුවන්?

පිළිතුර:- මේ රටේ මොනවා කළත් විරුද්ධ වෙන අය ඉන්නවා. මඩගහන අය ඉන්නවා. ඒත් අපි මේක කොතනින් හරි පටන් ගන්න ඕනෑ. තෝරුද මෝරුද හාල්මැස්සොද කියන ප්‍රශ්නෙ නෙවෙයි තියෙන්නෙ. එතැන සැලකිය යුතු වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකට සහයෝගය දෙන්න. ඒක ඉවර වෙන විදිය බලාගෙන ඉන්න.

ප්‍රශ්නය:- එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් කණ්ඩායමක් යුක්තිය මෙහෙයුම නවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔවුන් කියන්නෙ මේ මෙහෙයුම යටතේ අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් සිදුවෙන බවත් අත්අඩංගුවට ගන්නා අයට වධහිංසා පමුණුවන බවත්. මේ සම්බන්ධ ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද?

පිළිතුර:- එහෙම නතර කරන්න අපිට බෑ. මේ කටයුත්තෙ නියැළිලා ඉන්නෙ වගකිවයුතු පොලිසියක්. ඒ නිසා වගකිවයුතු ලෙස ඒ කටයුත්ත කරනවා. ඉදිරියට තියපු අඩිය පිටුපසට ගන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. මත්ද්‍රව්‍ය රටින් තුරන් කරලා තමයි අපිට මේ මෙහෙයුම නතර කරන්න පුළුවන් වෙන්නෙ.

ප්‍රශ්නය:- ආණ්ඩුව සම්මත කරපු ඔන්ලයින් පනතින් සමාජ මාධ්‍ය මර්දනය කිරීමක් සිදුවෙන බවට ප්‍රබල විවේචනයක් ඉදිරිපත් වෙනවා. ඒ ගැන මොකක්ද කියන්න පුළුවන්?

පිළිතුර:- අපේ රටේ හැමදෙයක්ම දේශපාලනීකරණය වෙනවා. මේකත් දේශපාලනික කරුණක්. මේ පනත ගෙනාවෙ පුරවැසියාගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන්. ආණ්ඩුවවත් මැති ඇමැතිවරුන්වත් රකින්න ගෙනාපු එකක් නෙවෙයි. මර්දනය කරන්න ගෙනාපු පනතක් නෙවෙයි. ඒ නිසා කවුරුත් කලබල විය යුතු බිය විය යුතු නෑ කියන එකයි මගෙ අදහස.

ප්‍රශ්නය:- මේක මැතිවරණ වසරක්. මේ පනත් කෙටුම්පත කඩිමුඩියෙ සම්මත කළේ දේශපාලන වාසි වෙනුවෙන් ද?

පිළිතුර:- මේ පනත 2016දී ආරම්භ කරපු වැඩසටහනක්. දැන් අවුරුදු අටක් ගෙවිලා. මේ පනත් කෙටුම්පත අධිකරණය හමුවටත් ගියා. වෙන පනත්වලට සාපේක්ෂව වැඩි කාලයක් මේ පනතට ගත වුණා. ඒ වගේම මේ පනත ගැන විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා මේ පනත කඩිමුඩියෙ සම්මත කළා කියන අදහසට අපි විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් භාෂණයෙ නිදහස පිළි අරගෙන තියෙනවා. ඒ වගේම 15 වැනි වගන්තියෙන් ඒ නිදහසට යම් යම් සීමා පනවලා තියෙනවා. අපිට ලැබෙන නිදහස අපි වගකීමෙන් පාවිච්චි කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් බොරුවක් කියන්න වරප්‍රසාදයක් තියෙනවා. අපි ඒකත් නතර කරන්න ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් වගකීමෙන් කතා කරන්න ඕන.

ප්‍රශ්නය:- මේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන පනත සම්මත කරපු අවස්ථාවෙදී ඇතුළත් නොකළ බවට විපක්ෂය චෝදනා කරනවා. ඒක ඇත්තද?

පිළිතුර:- එදා ඒ වෙලාවෙ ලොකු චෝදනාවක් නැගුවා. සුමන්දිරන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ල පරීක්ෂා කරලා කිව්වා මේක ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ඒක මාධ්‍යයෙ ගියෙ නෑ. එතුමා නීතිපතිතුමා එක්ක කතා කරලා තමයි ඒ සහතිකය දුන්නෙ.

ප්‍රශ්නය:- වැට් බදු වැඩි කරපු නිසා භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවත් වැඩි වුණා. ජනතාව ආර්ථික වශයෙන් අපහසු තත්වයක ඉන්නෙ. ආණ්ඩුවේ ආර්ථික ගමන් මග නිවැරදියි කියලා ඔබ හිතනවද?

පිළිතුර:- මෙහෙමයි. අපි බොහොම සංකීර්ණ කාලයක් පහු කළා. රටේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. ඒකෙන් ගොඩ එන්න වෙන මාර්ගයක් නෑ. සුරංගනා කතා කියන්න පුළුවන්. ශ්‍රී ලංකාව වගේම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ලෙබනනය අද ගිනි ජාලාවක් බවට පත් වෙලා. රටේ බැංකුවලින් මුදල් නිදහස් කරන්නෙ නෑ. මිනිස්සු සල්ලි පුච්චනවා. ලෙබනනයෙ උද්ධමනය සියයට 256 දක්වා ඉහළ ගිහින්. අපි ඒ කිට්ටුවට ගිහින් ආවෙ. අපේ ආර්ථිකය නිවැරදි කරන්න ගත්තු ක්‍රියාමාර්ග පීඩාකාරියි. අපි ඒක දන්නවා. එහෙත් වෙන විකල්පයක් නෑ. දැන් රටේ ආර්ථිකය හොඳ තැනකට ඇවිත් තියෙනවා. මේ පීඩනය ටිකෙන් ටික අඩු වෙන්න නියමිතයි. අපි කියන්නෙ ඉවසීමෙන් වගකීමෙන් වැඩ කරමු කියලා.

ප්‍රශ්නය:- ආර්ථිකය වැට්ටවීමට මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ගත්ත තීන්දු තීරණ හේතු වුණා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දු කරලා තියෙද්දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මේ ආර්ථික අර්බුදය ගැන හොයන එක හරිද?

පිළිතුර:- ඒ අධිකරණ තීන්දුව සම්පූර්ණයෙන් ගැඹුරින් කියවන්න ඕන. මේ අර්බුදය එක රැයකින් සිදු වුණු දෙයක් නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ ගත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා සමාජ ආකල්පවල ප්‍රතිඵලයක් තමයි මේ අර්බුදය. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙනුත් අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම තමයි අපේ රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් නෑ. ඒ නිසා අපි ආදායම් මාර්ග හොයා ගන්න ඕන. ඒ කටයුත්ත තමයි දැන් වෙලා තියෙන්නෙ.

ප්‍රශ්නය:- මේ වෙන කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හොයා ගෙනද තියෙන්නෙ?

පිළිතුර:- ඒ සම්බන්ධයෙන් මට දැනුමක් නෑ. ඒ ගැන වගකීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු තීරණ ගනියි කියලා මම හිතනවා.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දිය යුතුයි කියලා ඔබේ පක්ෂයේ සමහර අය කියනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

පිළිතුර:- මගේ මතයත් ඒ මතයමයි. ආර්ථික, දේශපාලනික හා සමාජමය වශයෙන් රට තිබුණු තත්වයෙන් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලි නායකත්වයක් දුන්නා. ඉදිරියට මේ වැඩපිළිවෙළ ගෙනි යන්න ඕන. අපි සියයට සියයක් මේ අර්බුදයෙන් මිදිලා නෑ. ඒ තීන්දු ගන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය:- ඒ කියන්නෙ පොහොට්ටුවේ රාජපක්ෂ කෙනෙක් අපේක්ෂකයා විදියට එනවට ඔබත් කැමති නැද්ද?

පිළිතුර:- මෙහෙමනෙ. ඒක පෞද්ගලිකව හැඟීම් බරවෙලා ගන්න පුළුවන් තීරණයක් නෙවෙයිනෙ. මේක රටේ සමස්තය වෙනුවෙන් ගත යුතු තීරණයක්. රටේ අනාගතය තීන්දු කරන තීරණයක් ඒක. ඒකට හැඟීම් බර වෙලා තීන්දු ගන්න බෑ. ඒ නිසා අපි කියන්නෙ සියලු දෙනාම මේ වේලාවෙ වගකීමෙන් වැඩ කරන්න ඕන කියලා. මම දන්න විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් තෝරලා නෑ. එක එක අය එයාලට හිතෙන දේවල් පහුගිය දවස්වල කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න සියලු පක්ෂ මේ සම්බන්ධයෙන් වගකිව යුතු තීරණයක් ඉදිරියේදී ගනියි කියලා මම හිතනවා.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත මේ රටේ බලය ගන්න පුළුවන් කියලා හිතනවද?

පිළිතුර:- කන්දක් නැග්ගොත් බැස්මක් එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. හැමදාම එකම තලයක ජනප්‍රියත්වය තියාගන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලනය කරන විදිය වෙනස් කරගන්න ඕන. පසුගිය කාලේ ඇති වෙච්ච තත්වය අවබෝධ කර ගන්න ඕන. කියවා ගන්න ඕන.

ප්‍රශ්නය:- ජනාධිපතිවරයා කිව්වා රතු මුහුදෙ ගමන් ගන්නා නෞකාවල ආරක්ෂාවට නෞකාවක් යොදවනවා කියලා. ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් අරගෙන ද තියෙන්නෙ?

පිළිතුර:- ඔය මුහුදු ප්‍රදේශයේදීම පෙරේදා (27) ශ්‍රී ලංකාවේ යාත්‍රාවක් සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් අත්පත් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක්. දූපත් රාජ්‍යයක් නිසා නැව් ගමනාගමනයට තියෙන නිදහස අපේ රටට ආර්ථිකයට ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක කරද්දිත් සමහර අය අපිට විරුද්ධව පාර්ලිමේන්තුවේදී කතා කළා. සමහරු කියනවා අපි ඊශ්‍රායලයේ පැත්ත ගන්නවා ඇමෙරිකාවේ පැත්ත ගන්නවා කියලා. අපි කාගෙවත් පැත්ත ගන්නෙ නෑ. එහෙත් අපි තේරුම් ගන්න ඕන මේක සෘජුවම රටේ ආර්ථිකයට බලපානවා කියලා. රතු මුහුද වෙනුවට අප්‍රිකාව හරහා යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කරන්න සිද්ධ වුණොත් ඒකෙ බලපෑම අපේ ආර්ථිකයට සෘජුවම එනවා. ඒ අනුව ජනාධිපතිතුමත් රජයත් ගත්ත තීන්දුවක් ඒක.

 

(*** සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ)